තමන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වූවත් සජබ සමඟ තරහ නොවන බවත් තමන් ගත්තේ පක්ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණයක් බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20දා) පැවැති මාධ්‍ය හමුවේදීය.
රටේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ රට ගැන සිතා තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බවත් මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්ෂ දේශපාලනයක්ද, පවතින අර්බුදයට විසඳුමක්ද යන්න ඇමතිවරයා පැවසීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.