විදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙයි.
විගමනික ශ්‍රමිකයන් රැකියාවට අදාළ නිපුණතාවක් සහිත වීමෙන් ඉහළ වැටුපකට සහ රැකියාවේ සුරක්ෂිතභාවයට හේතු වන බව ජනාධිපතිවරයා පැවසීය.
බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය අද (11දා) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, වාස්තු විද්‍යා, ගුරු, නීතිඥ, බැංකුකරණ, හෝටල් හා ආපනශාලා, හෙද, පරිගණක ඇතුළු ක්ෂේත්‍ර රැසක පුහුණු ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව සතුය. වෘත්තීය සහ පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් කාර්යාංශය අත්කරගෙන ඇති ප්‍රගතිය ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කෙරිණ.
විදේශ රැකියා මගින් ලැබෙන ප්‍රේෂණයන්ගෙන් ජාතික ආදායමට ඉහළම විනිමය දායකත්වයක් හිමි වන බව නිලධාරීහු පෙන්වා දුන්හ.
රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සේවා ස්ථානවල මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳීමට ගෙන ඇති පියවර ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමු විය.
විදේශ රැකියා බලපත්‍රලාභීන්ට ඇති වගකීම නිසි ලෙස ඉටුවන්නේ දැයි ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් විමසීය. විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කළ නියෝජිත ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නඩු 2,832ක් පවරා ඇති බව එහිදී අනාවරණය කෙරිණ.
එම පිරිස වහාම අසාදු ලේඛනගත කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.
තානාපති කාර්යාලවල පිහිටුවා ඇති කම්කරු සුබසාධන අංශ මගින් එම රටවල සේවය කරන විගමනික ප්‍රජාවගේ සුබසාධනය, ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්ව ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා අවධානයට ලක් කළේය.
කාර්යාංශ ගොඩනැඟිල්ලේ ඇති සියලු ඒකක නිරීක්ෂණය කරමින් නිලධාරීන් දිරිමත් කළ ජනාධිපතිවරයා සේවා සපයා ගැනීමට පැමිණ සිටි ජනතාවගෙන් ද තොරතුරු විමසීය.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු, කාර්යාංශයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මහින්ද හතුරුසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



