විදේශ සේවා කාර්යාංශයේ නමින් තොරතුරු එකතු කරන ව්‍යාජ වෙබ් අඩවියක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නම, නිල ලාංඡනය සහ කාර්යාංශයට අදාළ ඡායාරූප අනවසරයෙන් භාවිත කරමින්, ඊශ්‍රායලයේ රැකියා අවස්ථා නොමිලේ ලබාදෙන බව පවසමින් රැකියා අපේක්ෂකයින්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
කාර්යාංශයේ නිල වෙබ් අඩවියක් හෝ නිල මාර්ගගත බඳවා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස මහජනතාවට හැඟෙන ආකාරයෙන් මෙම වංචනික සබැඳිය (link) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම ව්‍යාජ සබැඳිය හරහා පරිශීලකයින් මාර්ගගත අයදුම්පතක් වෙත යොමු කරනු ලබන අතර, එහිදී සම්පූර්ණ නම, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය (NIC), ස්ත්‍රී/පුරුෂ භාවය සහ ජංගම දුරකථන අංකය ඇතුළු පෞද්ගලික තොරතුරු ලබාගැනීමට උත්සාහ කරනු ලබයි.
කාර්යාංශයේ අනන්‍යතාව අනවසරයෙන් භාවිත කිරීම සහ තහවුරු නොකළ මාර්ගගත පෝරමයක් හරහා පෞද්ගලික තොරතුරු රැස් කිරීම හේතුවෙන්, මෙම ක්‍රියාවලිය මගින් ෆිෂිං (Phishing), අනන්‍යතා සොරකම් (Identity Theft), අන් අයෙකු ලෙස පෙනී සිටීම (Impersonation), වංචනික ලෙස දත්ත රැස් කිරීම, සමාජ ඉංජිනේරුකරණය (Social Engineering) සහ පෞද්ගලික දත්ත අනිසි ලෙස භාවිත කිරීම වැනි අවදානම් ඇතිවිය හැකිය.
විශේෂයෙන්ම ඊශ්‍රායල රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ පිරිස් ඉලක්ක කර මෙම ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරමින් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීම මෙම ජාවාරමේ අරමුණ විය හැකි බව කාර්යාංශය පෙන්වා දෙයි.
එබැවින්, මෙවැනි සැකසහිත වෙබ් අඩවි, සබැඳි හෝ මාර්ගගත අයදුම්පත් වෙත කිසිදු පෞද්ගලික තොරතුරක් ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊශ්‍රායල රැකියා අපේක්ෂකයින් ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) වෙත මේ වන විටත් පැමිණිලි කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතී.
ඊශ්‍රායල රැකියා සම්බන්ධයෙන් නිල තොරතුරු ලබාගැනීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිල වශයෙන් නිකුත් කරන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙසද කාර්යාංශය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

