රටේ තරුණ තරුණියන්ට ඊශ්‍රායල රැකියා අවස්ථා හිමිවන විට, එරට සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නතර කරන ලෙසට පාර්ලිමේන්තුවට ඇතැම් දේශපාලඥයින් යෝජනා කරන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් වන තරුණයින් රජයේ රස්සාවට, ටකරම් කොලයට හෝ වැසිකිලි වලට රවටා ගැනීමට නොහැකි නිසා බවත්, එදා වද යට ඇදුම්, වද කොත්තු පෙන්වා ජාතිවාදී ලෙස ඡන්දය ලබාගත් ආකාරයට මෙදා මුස්ලිම් ජනතාව රවටා ඡන්දය ලබාගැනීමට මොවුන් කටයුතු කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
එදා ආර්ථික ඝාතකයින් ලෙස නම් පටබැදුන මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර අද නිදහසේ සිටින බවත්, දේශපාලඥයින් පමණක් ප්‍රශ්ණවලට මුහුණදෙන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංක්‍රමණිකයින් පිළිබදව වන ජාත්‍යන්තර ආයතනයේ සහාය ඇතිව ගාල්ලේදී පැවති මනුසවි දිරිය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
“එදා තිබුණ රට අද තිබෙන තැනට අරගෙන එන්න අපි නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කළා. නිවරදි ක්‍රමයට රටට සල්ලි එවන්න කියලා ඉල්ලුවා. විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන බලපත්‍ර අරගෙන ආවා.
අපි නොවැමිබර් මාසයේදී ඩොලර් මිලියන 573ක් මේ රටට ගෙනත් තියෙනවා. මේ අවුරුද්දේදී විතරක් ඩොලර් බිලියන 5.4ක මුදලක් රට ඇතුළට අරගෙන ඇවිත් තියෙනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. විදේශ ගත ශ්‍රමිකයින් හරි විදිටය රට ඇතුළට සල්ලි අරගෙන ආපු නිසා තමයි පෝලිම් නැති කරන්න පුළුවන් වුනේ. මිල වැඩි වුනත් තෙල් ටික රටට ගේනනේ මේ අය නිසා. රජයක් විදියට අපිට කෙලෙහිගුණය දක්වන්න මනුස්සකමක් තියෙන්න ඕන.
විදේශ ගත ශ්‍රමිකයින්ට තමන්ගේ කෙලෙහිගුණය ඉටු කිරීමේ වගකීමක් තියෙනවා. ගොඩක් අයට කෙලෙහිගුණ මතක නෑ. එතැනට එන්න උදව් කළ විදේශ ගත ශ්‍රමකයින් වෙනුවෙන් තමයි මනුසවි දිරිය වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.
රටට වැඩියෙන්ම ඩොලර් එන්නේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම. විදේශ ගත ශ්‍රමිකයන් රටට ඩොලර් එව්වාට, එක ඩොලරයක්වත් එළියට යන්නේ නෑ. මේ ඩොලර් ආදායම සියයට 100ක්ම රට ඇතුලේ රැදෙනවා.
එදා මිනිස් බෝම්බ ලංකාවට ගේන්න එපා කියලා, හෝටල් නිරෝධායනයෙන් මුදල් ගසා කෑවා. ඒ යුගය අවසන් කරලා අපි ගුවන්තොටුපොලේදී හෝප් ගේට් නමින් විශේෂ ද්වාරයක් හදුන්වා දුන්නා. විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. ශ්‍රමිකයාට විශ්‍රාම වැටුපක් හදුන්වා දුන්නා.
ගුවන්තොටුපොලේදී තීරු බදු සහනය ඉහළ දැමීමට අපි ගැසට් ගැහුවා. ඒත් ඇතැම් නිලධාරීන් නිසා ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. රටට ඩොලර් එවපු ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදුන්නා. වාහන නමසීයක් අපි ගෙන්වා තිබෙනවා. ඒ සදහා වන කාලය දිර්ඝ කිරීමට ජනාධිපතිතුමා නියෝග කළත් ඇතැම් නිලධාරීන් ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ ඔවුන් කෙලෙහිගුණ දන්නේ නැති නිසා.”