විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 109ට අධික මුදලක් වංචාකළ විදේශ රැකියා ඒජන්සියක හිමිකරු හා ඔහුට සහාය දුන් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 25 දින අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරුවන්ට විරුද්ධව කාර්යාංශය වෙත පැමිණිලි 50ක් ලැබි ඇති අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් නොයෙකුත් රටවල රැකියා ලබාදෙන බව පවසා ඔවුන් රුපියල් ලක්ෂ 109ට අධික මුදලක් වංචාකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව කාර්යාංශ විමර්ශන නිළධාරින් මෙම විමර්ශනය මෙහෙය වූ අතර, එහි ප්‍රථිපලයක් ලෙස කුරුණෑගල, පරගහදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහොම්මදු හනීෆා මොහොම්මදු ෆස්මිලා නම් ප්‍රධාන සැකකරු සහ කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම විදේශ රැකියා නියෝජිතායතනය මීට පෙර කාර්යාංශයේ බලපත්‍රයක් සහිතව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකර ඇති අතර, විදේශ රැකියා ලබාදෙන බව පවසා මීට පෙරද මුදල් වංචාකිරීම හේතුවෙන් කාර්යාංශය විසින් එම ආයතනයේ බලපත්‍රය අත්හිටුවා තිබේ. එවන් පසුබිමක් තුළ විදේශ රැකියා ලබාදෙන බව පවසා නීත්‍යානුකූල නොවන අයුරින් තවදුරටත් මෙම වංචනික ක්‍රියාව සිදුකර ගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි අයුරින් පුද්ගලයින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් වංචාකිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවන් එදිනම (2023.06.25) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, ඔවුන් 2023.06.30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.