සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අසත්‍ය ප්‍රකාශ කළ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව, ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වූ බවට සඳහන් කරමින් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී අද (12දා) සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවීමෙන් අනතුරුව අදහස් පළ කරමිනි.
"පසුගිය දිනක විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුවට ඇවිත් බරපතළ ප්‍රකාශයක් කළා. ඔහු කියනවා පුණර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සුළං බලාගාර ව්‍යාපෘතියකට ඉන්දියාවේ අදානි සමාගමට මෙය ලබාදෙන්න මෝදි අගමැතිවරයා බල කරනවා කියලා ජනාධිපතිවරයා තමන්ව ගෙන්වලා උපදෙස් දුන්නලු මේක ක්‍රියාත්මක කරන්න කියලා.
මේක ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ. ඒක ප්‍රකාශ කරලා මාධ්‍ය හරහා රටට ගියාට පස්සේ ජනාධිපතිවරයා රටට පණිවිඩයක් දෙනවා මේක සම්පූර්ණ බොරුවක්, මෙහෙම බලපෑමක් සිදුවෙලා නෑ, නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සෑම අවස්ථාවකම කටයුතු කරන්න කියලා ජනාධිපතිවරයා උපදෙස් දුන්නලු. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ මේ වගේ බරපතළ ප්‍රකාශයක් කරලා, කවුරු හරි බලපෑමක් ඔහුට කරන්න ඇතිපසුව ඔහු මේක ඉල්ලා අස්කර ගන්නවා.
දැන් ඔහු කියනවා මේක ඔහු අතින් සිදු වූ වරදක් කියලා. එහෙම කතාවක් හදන්න බෑනේ. ජනාධිපති එන්න කියලා, උපදෙස් දුන්නා. ඒ උපදෙස වෙනත් රටක රාජ්‍ය නායකයෙකුගේ නම සඳහන් කරලා, ඉන්දියානු සමාගමක් වන අදානි කියන නම සඳහන් කරලා, මේ බල කිරීම කරලා කෝප් කමිටුවේ ඔහු අපු ප්‍රශ්නවලට උත්තර දෙනවා. ඒ රූපරාමු බැලුවොත් ඔහු මොනවගේ මානසිකත්වයක ඉදගෙනද උත්තර දෙන්නේ කියලා බලන්න පුළුවන්. දැන් කියනවාලු ඒ වෙලාවේ ලොකු පීඩනයක් තිබුණා කියලා. පීඩනය වෙලා තිබෙන්නේ විදුලිබල පනතක් තිබුණු අවස්ථාවකලු. ඒ සංශෝධනයත් පාර්ලිමේන්තුවට ගෙනාවේ හොරා කන්න. පුණර්ජනනීය බලශක්තිය මංකොල්ල කන්න. ඉතින් මංකොල්ල කනකොට ඔහුට පීඩනයක් නෑනේ.
ඉතින් කිසිදු පීඩනයක් තිබුණේ නෑ. හොඳට හිනා වෙවී සාක්ෂි දුන්නේ. ඔහුට මම හිතන්නේ බලපෑමක් ආවා කියපු දේ ඉල්ලා අස්කර ගන්න. ඒක තමයි සිදු වුණේ. මම අහන්න කැමතියි ෆර්ඩිනෑන්ඩෝ මහත්මයාගෙන් ඔබට මොකක්ද තිබෙන අයිතිය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඇවිත් බොරු කියන්න. ඔබදන්නවාද ඒක වරප්‍රසාද ප්‍රශ්නයක්. මගේ වරප්‍රසාද කඩවුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට.
මම වරප්‍රසාද ප්‍රශ්නයක් ගේනවා ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස්වෙන අවස්ථාවේදී.ෆර්ඩිනෑන්ඩෝගේ බොරුව නිසා මගේ පමණක් නෙවෙයි අපි සියලු දෙනාගේම වරප්‍රසාද කඩ වෙලා තිබෙන්නේ මේ බොරුව නිසා. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා බරපතළ වරදක් කරලා තිබෙන්නේ. ඒ වරද තමයි අපේ මන්ත්‍රී වරප්‍රසාද කඩකරලා තිබෙනවා මේ වගේ ටොම් පචයක් කියලා. මන්ත්‍රීවරුන්ගේ විතරක් නෙවෙයි ලක්ෂ 220ක් වූ ජනතාවගේ වරප්‍රසාද කඩ කරලා තිබෙනවා. ඉතින් ෆර්ඩිනෑන්ඩෝ සභාපතිවරයාට විරුද්ධව වරප්‍රසාද කඩ කිරීමේ යෝජනාව විපක්ෂනායක ලෙස මම ගෙන එනවා" යනුවෙන් සඳහන් කළේය.