ඉන්දීය ඔයිල් සමාගමෙන් විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 6,000ක් ලබා ගැනීමේදී රුපියල් කෝටි 57ක පාඩුවක් සිදුව තිබියදී තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 12,000ක් ඉන්දීය තෙල් සමාගමෙන් මිලදී ගැනීමට සැලසුම්කර තිබෙන බව ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ඉන්දීය ඔයිල් සමාගමට අයත් පිරවුම්හල්වලින් ඩීසල් ලීටරයක් රුපියල් 214කට අලෙවි කරමින් තිබියදී විදුලිබල මණ්ඩලයට ලීටරයක් රුපියල් 290.98කට ලබාදීම නිසා විදුලි බල මණ්ඩලයට මෙම පාඩුව සිදුව තිබෙන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආන්නද පාලිත මහතා පැවසීය.
මීට පෙර අවස්ථා 12කදී ඉන්දීය ඔයිල් සමාගමෙන් මෙරටට ඉන්ධන තොග ලබාදී තිබෙන බවත්,ඒ සෑම අවස්ථාවකදීම සිදුවී තිබෙන්නේ, තෙල් සංස්ථාවට ඉන්ධන තොග ලැබුණු පසු අදාළ ඉන්ධන තොගය ඉන්දීය ඔයිල් සමාගමට ලබාදීම බවත් ඒ මහතා පවසා සිටියේය.
එහෙත් මෙවර මේ වනවිට එම ක්‍රමවේදය වෙනස් කර තිබෙන බවත්, ඉදිරියේදී ලබා ගැනීමට නියමිත මෙට්‍රික් ටොන් 12,000ක ප්‍රමාණයත් වැඩි මිලට මිලදී ගැනීමට නියමිතව තිබෙන බවත ආන්නද පාලිත මහතා සඳහන් කළේය.
චීන වරායේ සිට දුම්රිය මගින් මෙම ඩීසල් තොගය සුළු මුදලක් වියදම්කර කොළඹට රැගෙන ඒමට හැකියාව තිබියදීත් මෙට්‍රික් ටොන් 33,000ක බවුසර යොදාගෙන ඩීසල් කොළඹට ප්‍රවාහනය කරමින් තිබෙන බවත්, මෙම බවුසරයකට එක් ගමන් වාරයකට රුපියල් 118,000ක මුදලක් ගෙවිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා ලබා ගැනීමට නියමිතව තිබෙන ඩීසල් තොගය තෙල් සංස්ථාව හරහා නැවත ලබාදීමේ පදනමින් ලබා ගැනීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, එසේ නොමැතිවුවහොත් විදුලිබල මණ්ඩලයට අති විශාල පාඩුවක් විඳීමට සිදුවන බවත් ආන්නද පාලිත මහතා සඳහන් කළේය.