විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලේ ක්‍රියාත්මක නවතම තත්වයත්, විශේෂයෙන්ම සේවක පාර්ශවය ඉදිරිපත් කරන විවේචන ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද (02) පෙරවරුවේ පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල පුරා හැකි සෑම අවස්ථාවකදීම විදුලිබල මණ්ඩල සේවකයින්ගේ අදහස්, උදහස් හා දුක්ගැනවිලිවලට ඇහුම්කන් දෙමින්, මතුවූ කරුණුවලට අවධානය යොමු කරමින් ක්‍රියා කළ බවද, ඉදිරියටද මේ තත්වය පවත්වාගෙන යෑම තම අපේක්ෂාව බවත්, ප්‍රකාශ කළේය.
ඒ අනුව, පනත සම්මත වීමෙන් පසු, පනත අනුව සියයට සීයක් රජයේ හිමිකාරීත්වය සහිත සමාගම් පිහිටුවීම සිදුකර සේවකයින්ට පෙර දැනුවත් කිරීමේ දැන්වීම් ලබාදී ඇති බවත්, ක්‍රියාවලිය තුළ ඇති අපැහැදිලිකම් අඩුපාඩු වේ නම්, ඒ ගැන සාකච්ඡා කිරීමට සූදානම් බවද මෙරට සමාගම් පනත අනුව නීත්‍යානුකූලව සමාගම් අගට (පුද්ගලික) සමාගම යනුවෙන් යෙදෙන බවත්, එම වචන භාවිතා කරමින් පුද්ගලිකකරණය කිරීමක් කර ඇති බවට හුවා දක්වන්නට සමහරු උත්සාහ කරන බවත්, ඇත්ත තත්වය විශේෂයෙන්ම සේවක පාර්ශවයට දැනුම් දිය යුතු බවත්, සිහිපත් කළේය.
මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයින් සමස්ත වැඩපිලිවෙල තුළ මීට වඩා විධිමත් සහ කාර්යක්ෂමව තොරතුරු සන්නිවේදන ක්‍රමවේදයක් අවශ්‍ය බවද තොරතුරු හොඳින් සන්නිවේදනය නොවීම බාධාවක් වී ඇති බවත්, එනිසාම සේවකයින් තුළ ව්‍යාකූල තත්වයක් මතුවී ඇති බවත්, සේවකයින් ඒ පිළිබඳව වෘත්තීය සමිතිවලින් ප්‍රශ්න කරන බවත් දැනුම් දුන්හ.
මෙහිදී පවතින යාන්ත්‍රණය තුළ ඇති සීමාවන්, නීතිමය ගැටළු සහ සීමිත කාල පරාසයක් තුළ කළ යුතුව තිබූ අධික වැඩ කොටස තුළ යම් අතපසුවීම් වී නම් ඒවා විසඳා ගැනීමට පියවර ගැනීමට සූදානම් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සේවක ස්ථාන මාරු, අර්ථසාධක අරමුදල හා විශ්‍රාම වැටුප් අරමුදල සඳහා පිහිටුවීමට නියමිත සමාගම පිළිබඳව මෙන්ම එම පෙර සාකච්ඡාවකදී වෘත්තීය සමිති ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කර සාමූහික ගිවිසුමක් සඳහා අදාල කමිටුවක් ඇති බවද ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම පිණිස වෘත්තීය සමිති මට්ටමින්ද සේවකයින්ට නියමිත තොරතුරු ලබාදී සහයෝගශීලීව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
පිහිටුවා ඇති සමාගම්වලට සේවකයින් සම්බන්ධ කර ගැනීම හෝ සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම පිළිබඳ හා අදාළ තොරතුරු හා විස්තර නීතිමය විධිවිධානවලට අනුකූලව ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවත්, පසුගිය රජයේ පුද්ගලිකකරණ වැඩපිළිවෙල පරාජය කරමින් විදුලිබල ක්ෂේත්රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කෙරෙන නව රජයේ වැඩපිළිවෙලට සහයෝගය ලබාදීම වැඩකරන ජනතාවගේ සහ සැබෑ වෘත්තීය සමිතිවල වගකීම බව සිහිපත් කරන බවද, පෙර අත්දැකීම් නොමැති ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීමට සියළු පාර්ශවයන් එක්ව කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ ලංකා විදුලි සේවක සංගමයේ උප ලේකම් ජයන්ත ගුණරත්න මහතා මෙරට විදුලිබල ක්ෂේත්රයේ වැඩිම සේවකයින් ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තීය සමිතිය ලෙස මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල පිලිගන්නා බවද සෑම විටම වෘත්තීය සමිති හා සාකච්ඡා කරමින් හා මතුවන යෝජනා සැලකිල්ලට ගනිමින් ක්‍රියාකිරීම අගය කරන බව ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා, විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂන් මහතා මෙන්ම විදුලි වෘත්තීය සමිති බහුතරයකගේ නියෝජිතයින් සහභාගී වූහ.
