කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 2009 අංක 20 දරන ශ්රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතට අද (15දා) සිය සහතිකය සටහන් කළේය.
මෙම පනත් කෙටුම්පත පසුගිය 09 දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත විය.
යම් තැනැත්තකුට විදුලිබලය උත්පාදනය කිරීම පිණිස උත්පාදනය කිරීමේ බලපත්රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා දීම මෙමගින් සිදුවේ.
මෙම සංශෝධනය මගින් යම් තැනැත්තෙකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා සහ අභිබවා විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ඇති සීමා ඉවත් කිරීම සහ උත්පාදන ධාරිතාව පිළිබඳ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීම සිදුවනු ඇත.
මේ අනුව අද (15දා) සිට ශ්රී ලංකා විදුලි බල (සංශෝධන) පනත 2022 අංක 16 දරන පනත ලෙස ශ්රී ලංකාවේ නීති පද්ධතියට එක් වේ.
