පවතින විදුලි හා ඉන්ධන අර්බුදයත් සමග විදුලිබල අමාත්‍යාංශය හා බලශක්ති අමාත්‍යාංශය විසින් අද (28දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා කැබිනට් සංදේශ හා පත්‍රිකා 11ක් පමණ ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව එම අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
විදුලිබල අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකා 08ක් පමණද බලශක්ති අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකා 03ක් පමණ ද ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවෙයි.
විදුලිබල අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකා මගින් විදුලි අර්බුදයට විසඳුම් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය හා මිලදී ගැනීම්වලට අදාළ යෝජනා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහා බලශක්ති කාර්යක්ෂම කාර්යාල ගොඩනැගිල්ලක් ඉදි කිරීම හා විදුලිබල පනත සංශෝධනය කිරීම ආදී වූ යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
බලශක්ති අමාත්‍යාංශය විසින් ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය අර්බුදය, ඛනිජ තෙල් ආනයනය සඳහා විදේශ විනිමය සැපයීම හා තෙල් ආනයනය සීමා කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බවද වාර්තාවෙයි.