විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන අධ්යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් කැඳවා කරුණු විමසීම ජාතික සභාවේදී සිදු විය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ, ජාතික සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
කැබිනට් මණ්ඩලයේ අනුමතිය සහිතව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය ගෙනආ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉක්මනින් තීරණයක් ලබාදීම සිදු කළ යුතු බව මෙහිදී විදුලිබල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීහු පෙන්වාදීම සිදු කළහ.
නමුත් මෙහිදී අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ පළමුව අවශ්‍ය ගණනය කිරීම් අවසන් කළ යුතු බවයි.
මේ අනුව මෙහිදී අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂම සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බවයි. එබැවින් එම සාකච්ඡාවන් සිදු කොට ලබන 24 දින නැවත මෙම සියලු පාර්ශ්ව ජාතික සභාව වෙත කැදවීමට මෙහිදී තීරණය කෙරිණි.