විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඊයේ (13) පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට අද (14) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.
විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙම පාර්ශ්ව දෙකට මුණගැසී සාකච්ඡාකොට අවසන් තීරණයක් ගන්නා ලෙස ජාතික සභාව ඊයේ (13) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී දැනුම් දුන්නේය. මේ අනුව ඊයේ පස්වරුවේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කළ බවත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත් මෙහිදී පැමිණ සිටි නිලධාරීන් ජාතික සභාවට දැනුම්දීම සිදු කළේය.
මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කළේ, අද දින කොම්ෂන් සභාව රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණේ ජාතික සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද (14) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, මින් පෙර ජාතික සභාව රැස් වූ අවස්ථාවේදී විදුලි බල ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය 15 වැනිදාට පෙර දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජාතික සභාවට සඳහන් කළ බවත්, එම නිසා හෙට (15) දින මේ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.