විදුලි කාර්මිකයින්ට ජපානයේ රැකියා
ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා රැසක් ලැබෙන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (2026.01.07) දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.
ජපානයේ Enterprise United Co-operative ආයතනය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළ අතර, ජපානය වෙනුවෙන් එහි සභාපති Kazuhiro Hanzaki හා ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම අවබෝධතා ගිවිසුම අනුව ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්රයට අදාළ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය සුදුසුකම්ලත් (NVQ) ශ්‍රමිකයින්ට හිමිවේ. ජාතික වෘත්තීය සුදුසුකම, වයස අවුරුදු 20-28 ත් අතර, අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ, තරුණ පිරිස් මේ සඳහා තෝරාගැනේ. ජපන් භාෂාව හදාරා තිබීම අතිරේක සුදුසුකමක් වන අතර, ඒ සඳහා අදාළ පුහුණුව ලබාදීමටද මෙම ගිවිසුම මගින් කටයුතු සලසා ඇත. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිවී තිබේ.
ඒ අනුව ජපන් භාෂාව පුහුණු කිරීම් හා වෘත්තිය පුහුණු කිරීම් කටයුතු ජාතික තරුණ සේවා සභාවේ සපුගස්කන්ද වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකිරීමට නියමිතය. අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව ජාතික තරුණ සේවා සභාව, වෘත්තිය පුහුණු අධිකාරිය, NAITA, VTA, කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ අධිකාරිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා බැංකුවේ ලියාපදිංචි, සුදුසුකම් ලත් පිරිස් තුළින් තෝරාගැනේ.
සියළුම බඳවාගැනීම් රජයේ වැඩපිළිවෙල අනුව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් සිදුකරයි.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය සුදත් යාලේගම, ජපානයේ Enterprise United Co-operative ආයතනයේ ප්‍රධාන උපදේශක Yoshiko Nakayama, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ අධ්යක්ෂ විශ්ව නිරන්ත කුරුවිට, එහි සාමාන්‍යාධිකාරී සී.පී. ලොකුගලප්පත්ති යන මහත්ම මහත්මීන්ද එක්වී සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
