අද දින සිට විදුලි කප්පාදුව දවසකට පැය 10 ඉක්මවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බවත් පද්ධතිය ඒ තරම් ගැටලුවක් නොමැති බවත් විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පැවැසීය.
නොරොච්චෝලේ පළමු බලාගාරයේ බිඳ වැටීම දින පහකින් යථා තත්ත්වයට පත්වුවත් එහි සිදුකළ තත්ත්ව පරීක්ෂාවක් අසමත්ව ඇති බවත් බලාගාරය යළිත් එළැඹෙන 18 දා සාමාන්‍ය තත්ත්වයට පත්වෙනු ඇති බවත් ඔහු පැවැසීය.
දැනට සිදුකරන පැය තුනයි විනාඩි 20ක විදුලි කප්පාදුව ඒ ආකාරයෙන්ම පවත්වාගැනීමට කටයුුතු කරන බවත් එම කාලය අඩු කිරීමක් මිස වැඩි කිරීමක් කිසිසේත්ම සිදු නොවන බවත් ඔහු පැවැසීය.
ඉදිරියේදී ජල විදුලිය නියමිත පරිදි ලැබුණ විට මෙම පැය තුනයි විනාඩි 20ක විදුලි කප්පාදුව තවදුරටත් අඩු කර ගැනීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.