විද්‍යුත් කාඩ්පත් මගින් ලංගම ගාස්තු ගෙවීමේ නියමු ව්‍යාපෘතිය අරඹයි
රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසඳුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සඳහා විද්‍යුත් කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබීය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය, ප්‍රවාහන සේවාව තවත් ශක්තිමත් කිරීම, විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ මගීන්ට පහසු සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් ආරම්භ කර ඇත.
මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේදී, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව කනගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ විය.
මෙම නව ක්‍රමවේදය යටතේ, විද්‍යුත් කාඩ්පත් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේදී මගීන්ගෙන් කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරෙන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමට හැකි වනු ඇත. එමඟින් මගීන්ට අමතර මුදල් වැයවීමක් සිදු නොවන බවද සඳහන් වේ.
නව පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී හඳුනා ගන්නා ප්රබලතා සහ දුර්වලතා අනුව, මෙම කාඩ්පත් ගෙවීම් ක්‍රමය ඉදිරියේදී තවදුරටත් සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරයි.
මෙම නියමු ව්‍යාපෘතිය මාකුඹුර – ගාල්ල සහ මාකුඹුර – ඇඹිලිපිටිය යන මාර්ග කිහිපයක ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී රට පුරා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

