මෙරට තිබෙන විද්‍යාපීඨ දහ නමය විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ පනත ලබන වසරේ ගෙන එන බවත් 2028 වසරේදී ඉන් පිටවන උපාධිධාරීන් ගුරුවරුන් වශයෙන් පාසල් පද්ධතියට එක් කොට පාසල් දරුවන්ට හොඳ ගුරුවරයෙකු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ අද (03) මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් පෞද්ගලිකව බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
විද්‍යාපීඨ දහනමයේ පීඨාධිපතිවරුන් කැඳවා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් මේ වනවිටත් අයවැයෙන් එහි මූලික කටයුතු සඳහා රුපියල් බිලියනයක මුදලක් වෙන් කොට තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා එම විශ්වවිද්‍යාල වලට සිසුන් බඳවා ගනු ලබන්නේද වෙනත් විශ්වවිද්‍යාල වලට සිසුන් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව බව ද පැවසීය.
මෙවර අයවැයෙන් අධ්‍යාපන වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 517 ක මුදලක් වෙන් කොට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ 09 ක් සඳහා එම මුදල වෙනකොට තිබෙන බව පැවසූ අමාත්‍යවරයා එය පසුගිය වසර හා සැසඳීමේ දී රුපියල් බිලියන 55 ක වැඩිවීමක් බව ද පැවසීය.
දරුවන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා වන පෙළපොත්, නිල ඇඳුම්, මෙන්ම මෙවර සිසුන් ලක්ෂ 16 කට දිවා ආහාරය, දරුවන් 750,000 කට නොමිලේ පාවහන් ලබාදීමට පියවර ගන්නා බවත් පෙළපොත් සහ නිල ඇඳුම් ලබාදීම පෙබරවාරි මස 19 වැනි දින පාසල් වාරය ආරම්භ කිරීමට පෙර බෙදා නිම කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල දෙස බැලීමේදී අනෙක් වසර හා සැසඳීමේදී ඉහළ මට්ටමක තිබෙන බවත් ඒ-9 ගත් සිසුන් සංඛ්‍යාව දෙදහසකින් පමණ වැඩි වී තිබෙන බවත් දිවයිනේ ඉහළම ප්‍රතිඵල වාර්තා කළ සිසුන් අතර පළමු ස්ථානය මහමායා බාලිකා විදුහලටත් දස වැනි ස්ථානය උසස් බාලිකා විදුහලටත් ලැබී තිබෙන බවත් මධ්‍යම පළාතට එය සතුටු විය හැකි කාරණාවක් බවද අමාත්‍යවරයා පැවසීය.