විගණකාධිපතිවරියගේ වැටුපට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
විගණකාධිපති ධුරයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, විගණකාධිපතිවරියගේ වැටුප අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, එම්.කේ.එම්. අස්ලම්, තිලිණ සමරකෝන් සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා (04) රැස්වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපති ධුරයේ වැටුප් සම්බන්ධයෙන් අදාළ යෝජනාව කාරක සභාවේ අවධානයට යොමු කර තිබිණි.
එහිදී විගණකාධිපතිවරියගේ වගකීම්, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා විගණන ක්ෂේත්රයේ ස්වාධීනත්වය ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් වැටුප් මට්ටම පිළිබඳව කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 170 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපති රාජ්‍ය සේවකයකු නොවන බවත් පවත්නා රාජ්‍ය වැටුප් පරිමාණයෙන් බැහැරව විගණකාධිපතිවරයාගේ වැටුප සඳහා විශේෂ සැලකිල්ලක් යොමු කළ හැකි බවත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කාරක සභාව පවසා සිටියේය. යොජිත වැටුප, මීට පෙර සිටි විගණකාධිපතිවරුන්ගේ වැටුප් ද සලකා බලමින් මෙම තිරණයට එළඹුණ බව නිලධාරීන් විසින් පවසන ලදී. මිට පෙර, එය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවෙන් තිරණය කළ ද වර්තමානයේ එවැනි කොමිසමක් නොමැති බවත් නිලධාරීහු සදහන් කළහ.
විගණකාධිපතිවරිය සඳහා යෝජිත වැටුප් මට්ටම අනුමත කළ ද, එම තනතුරට පැවරී ඇති වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගනිමින් වැටුප තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය යුතු බවට කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ අදහස විය. ඒ අනුව, අදාළ වැටුප් මට්ටම සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් අවධානය යොමු කර අවශ්‍ය තීරණ ගැනීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී පෙන්වා දුන් අතර ස්ථිර සහ ස්වධින වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපිත කරන ලෙස කාරක සභාවේ සභාපති යොජනා කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

