විකාශන අධිකාරී පනතට එරෙහි වීමට විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ අනුව එම පනත පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත්, අධිකරණයේත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව අද (05දා) පාර්ලිමේන්තුවේ පැවති විපක්ෂයේ විධායක සභාව අවසන් වීමෙන් පසු ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"ප්රජාතන්ත්රවාදයේ ඉතිරි වී තිබෙන කොටසත් විනාශ කරන්නට රජය විකාශන අධිකාරී පනතක් ගෙනවිත් මේ රටේ ස්වාධීන මාධ්‍ය විනාශ මුඛය කරා ගෙනයන්න දරණ මේ උත්සාහයට අද දින විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීන්දු කළා එම රජයේ ප්රයත්නය පරාජය කිරීම සඳහා ගතයුතු, ගතහැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත්, අධිකරණයේත්, ඒ වගේම ජන සමාජයේත් ඒ වගකීම අපි විපක්ෂයක් ලෙස අපි භාරගෙන මේ විකාශන අධිකාරී පනත පරාජය කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.ඒ සඳහා විපක්ෂයේ විධායක සභාවේ ඒකමතික තීනිදුව අද අප වෙත ලැබුණා.
ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය තුළ හතරවෙනි වැදගත් කුළුණ නිදහස් මාධ්‍යයයි. ව්‍යවස්ථායකය, විධායකය, අධිකරණය සංවරණ සහ තුළන මගින් ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය ශක්තිමත් කරන මොහොතක තවත් අමතර සංවරණ සහ තුළනයක් ලෙස හතරවෙනි කුළුණ ලෙස ලෝකයම පිළිගන්නවා නිදහස් මාධ්‍ය.
රජය විකාශන අධිකාරී පනතක් හරහා මේ රටේ නිදහස් මාධ්‍ය විනාශ කරන්නට දැන් පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. මේ ආකාරයේම පනතක් 1997දී ඉදිරිපත් කළ මොහොතක 1997 මැයි 05 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ.ආර්.අමරසිංහ විනිසුරුතුමා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කළා. ඒ තමයි එම පනත සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියන කාරණාව.
අන්තවාදී, ඒකාධිපති, ආඥාදායක, දරදඬු, මුග්ද විකාශන අධිකාරී පනත අපි සහමුලින්ම පරාජයට පත් කරන්න ඕනී. නිදහස් මාධ්‍ය අපි දිනවන්න ඕනී. ක්‍රමක් ක්‍රමයෙන් මේ රටේ ප්රජාතන්ත්රවාදී නිදහස ප්රජාතන්ත්රවාදී ක්‍රමයට මරු පහරවල් රැසක් එල්ලවෙමින් පවතිනවා. විධායකයත්, අධිකරණයත් අතර තිබෙන ඒ වෙන වෙනම ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලවල් අද තර්ජනයට ලක්වෙලා තිබෙනවා.
අභියාචනාධිකරණයෙත්, ශ්‍රේෂ්ඨාධිකරණයේත් විනිසුරුවන්ව දැඩි අපහසුතාවයකට පත් කරලා තිබෙනවා ඔවුන් වෙනුවෙන් බෝජන සංග්‍රහ පවත්වලා. ඇත්තටම මේ මොහොතේ ක්‍රියාත්මක වෙන අති වැදගත් වූ අධිකරණ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙන මොහොතක මෙය අමනෝඥ ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. ගරු අධිකරණයත්, විනිසුරුවරුනුත් දැඩි අපහසුතාවයකට ලක් කල ක්‍රියාදාමයක් ලෙසයි මම මෙය දකින්නේ."