රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා වැහිළිහිණි කූඩු කිලෝ දෙකහමාරක් ලග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (16දා) අත්අඩංගුවට ගැනීමට බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත්විය .
උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර සහ බදුල්ල බිංගෙවල් තුළ බැඳතිබූ වැහිළිහිණි කූඩු මෙසේ කඩාගෙන ඇති බව විමර්ශන වලදි අනාවරණය වී තිබේ .
සැකකරුවන් දෙදෙනා මෙම වැහිළිහිණි කූඩු කොළඹ සිට පැමිණෙන ජාවාරම් කරුවෙකුට අළෙවි කිරීමට සූදානම්ව සිටියදී බදුල්ල බදුළුපිටිය ක්රීඩාංගනය අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
වැහිළිහිණි කූඩුවලින් ලබාගන්නා මැලියම් විශේෂයකින් සාදනු ලබන සුප් වර්ගයක් ශරීර උත්තේජනය වර්ධනය කරන බවට පවතින විශ්වාසය නිසා විදේශිකයන් මේ සුප් වලට දැඩි ආකර්ශනයක් ඇති බව පැවසේ .
මේ නිසා වැහිලිහිණි කූඩු කිලෝව රුපියල් ලක්ෂ 4 දක්වා වූ මිලකට ඇතැම් තරු හෝටල් මිලදී ගන්නා බවද විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය .
අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල - අමුණුවැල් පිටිය හා සොරණාතොට පදිංචි අවුරුදු 47 සහ 44 යන වයස් ඛාන්ඩවලට අයත් සැකකරුවන් දෙදෙනෙකි .
බදුල්ලේ පාලිත ආරියවංශ
