ශාන් හුලංනුගේ
උඩරට වතුකරය ආශ්රිත ප්රදේශවල වැලි මුව ගහණය ඉහල ගොස් ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.
උඩරට වතුකරයේ තේ වතුවල හා ලඳු කැළෑ, පතන් හා එළිමහන් බිම් ආශ්රීතව මෙසේ වැලි මුවන් නිරත්තරයෙන්ම ගැවසෙන අයුරු නිරීක්ෂණය වී ඇතැයිද ඔවුහු සඳහන් කරති.
ඇතැම් ප්රදේශවල මාර්ග අසල පිහිටි එළිමහන් බිම් ආශ්රිතව පවා වැලි මුවන් නිරන්තරයෙන් ගැවසෙන අයුරු නිරීක්ෂණය වී ඇති බවත්,එම සතුන් රථවාහන හා මිනිස් හඬවලට බියක් නොදක්වන තත්ත්වයකට පත්ව සිටින බවද එම නියෝජිතයෝ කියති.
මෙම සතුන් තේ වතුවල හා ඒ අවට පිහිටි කුඩා ලඳු කැළෑ, පතන් හා එළිමහන් බිම් ආශ්රිත සැරිසැරීමට ප්රියතාවයක් දක්වන බවත්, බොහෝවිට කැළෑවන් තුල සිටින කඳුකර කොටියන්ගෙන් හා හඳුන් දිවියන්ගෙන් බේරී සිටීම සඳහා මෙසේ එළිමහන් ප්රදේශවල සැරිසැරීමට මොවුන් කැමැත්තක් දක්වනවා විය හැකි බවද ඔවුන් පෙන්වා දෙති.
වැලි මුවන් මෙසේ ජනතාව ගැවසෙන ප්රදේශ ආශ්රීතව නිරන්තරයෙන් සැරිසැරීම හේතුවෙන් එම සතුන් බල්ලන්ගේ සපා කෑම්වලට, රාත්රී කාලයට රථවාහනවලට අසුවීමට , අනාරක්ෂිත ලිං හා වළවල්වලට වැටීමට මෙන්ම මස් පිණිස මරා ගැනීම්වලටද ලක්විය හැකි බවද එම නියෝජිතයෝ කියති.
