වැරදි ගොවි ගිණුම් අංක ලබා දීම නිසා ගොවි ගිණුම්වලට බැර කරන ලද රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර මහ කන්නයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ නැවත අය නොකරන මුදලක් වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් 10,000ක් හා හෙක්ටෙයාර් දෙකකට රුපියල් 20,000ක් වශයෙන් රුපියල් බිලියන 08ක් ගොවි පවුල් ලක්ෂ 12ක් අතර බෙදා දීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
මෙම මුදල් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පෙර ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාවලට ලබා දී ඇති තම ගිණුම් අංක නිවැරදි ද යන්න අදාල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් පරීක්ෂා කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාව වෙත දැනුම් දුන්නත් ඇතැම් ගොවීන් එම කටයුතු සිදු කර නොමැත.
මේ නිසා ගොවි ගිණුම්වලට යොමු කරන ලද මුදල්වලින් මිලියන 1300ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ආපසු ලැබී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වෙත සහන සැළසීම සඳහා ලබා දෙන ලද රුපියල් බිලියන 08න් මේ වනවිට රුපියල් බිලියන 6.5ක් ගොවි ගිණුම්වලට බැර කර තිබේ.
තවත් රුපියල් බිලියන 1.5ක් ගොවි ගිණුම්ගත කිරීමේ කටයුතු මේ දිනවල ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අතර ලබන සතිය අවසන් වන විට සියලුම මුදල් ගොවි ගිණුම්වලට බැර කර අවසන් කිරීමට පියවර ගන්නා බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ගොවි සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (07) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡාවක් පෑවත්වූ අතර එහි දී මෙම කරුණු අනාවරණය කරනු ලැබීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටි පරිදි නිවැරදි ගිණුම් අංක ලබා දීම හෝ ගිණුම් අංක නිවැරදි ද යන්න පරීක්ෂා කළේ නම් මෙම මුදල් ආපසු නොඑන බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා රජය හා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වැඩ සටහන්වල දී ගොවි ජනතාවගේ සහයෝගය ද අත්‍යාවශ්‍ය බව සඳහන් කළේය.
එම කටයුතුවල දී ඇතැම් නිලධාරින් අතින් අඩු පාඩු සිදු වී ඇති බවත්, ඒ මෙන්ම ගොවි ජනතාව ද ප්‍රමාණවත් සහයෝගයක් ලබා නොදීම මෙම කටයුතුවලට බාධා වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
මෙම සාකච්ඡාවට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්. එම්. එල්. ඒ. අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.