වැඩිහිටියන්ගෙන් සියයට 34 කට හෘද රෝග ආශ්රිත රෝගාබාධ
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක (Catheterization Laboratory) ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (15) පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඇමරිකාවේ පදිංචි බෙනට් පෙරේරා මහතා සහ ඔහුගේ බිරිඳ වන නීලමනී පෙරේරා මහත්මිය විසින් සිය මියගිය පුතණුවන්ට පිං පිණිස සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදිකරදීමට කටයුතු කරනු ලැබේ.
රුපියල් මිලියන 80 ක පමණ වියදමකින් රෝහලේ හෘද රෝග ඒකකය අසල මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදිකිරීමට සැළසුම් කර ඇත.
ඒ අනුව නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම අද සිදුවු අතර ඇමරිකාවේ පදිංචි බෙනට් පෙරේරා මහතා සහ එම මැතිණිය සූමි තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ විය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් මෙරට රෝහල් පද්ධතිය තුළ මේ වසරේ කැත් රසායනාගාර 07 සමග ලබන වසර වන විට මෙරට රෝහල් තුළ තැත් රසායනාගාර 14 ක් ස්ථාපිත කරමින් හෘද රෝගී ප්‍රතිකාර ශක්තිමත් කරන බව පැවසීය. මෙම වසරේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී ප්‍රතිකාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වන බවත් 2028 වසරේ එහි ඉදිකිරීම් අවසන් කර හෘද රෝගී ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමට කටයුතු සිදුවන බවත් පැවසීය.
මෙහිදී නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා), විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා අදහස් දක්වමින් පෙන්වා දෙන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2022 දත්ත අනුව මෙරට වැඩිහිටි ජනගහනයෙන් 34% කට හෘද රෝග ආශ්රිත රෝගාබාධ වන බවත්, නිවැරදිව ප්‍රතිකාර ලබාගෙන රෝග පාලනය වී තිබෙන්නේ 25% ක ප්‍රමාණයක පමණක් බවයි. මෙරට රෝහල් සායන සඳහා සහභාගිවන රෝගීන් අතරින් විශාල ප්‍රමාණයක් හෘද රෝගවලට අදාළ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන බව වාර්තාවන බැවින් එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවා සැපයීමට මෙවැනි ඒකක අත්‍යාවශ්‍ය වන බව ද පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම මහතා මෙහිදී අදහස් දක්වමින් මෙරට රෝහල් තුළ හෘද රෝගී ප්‍රතිකාර සඳහා කැත් යන්ත්‍ර 11 ක් වන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් අනුව 2026 වසරේ රත්නපුර, මඩකළපුව, බදුල්ල, කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් 07 ක අළුතින් කැත් යන්ත්‍ර 07 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලක්ෂ 07 ක පමණ ජනගහනයක් වන අතර, දිස්ත්‍රික්කයේ කිසිදු රෝහලක හෘද කැතීටකරණ ඒකකයක් නොමැතිවීම විශේෂත්වයකි.
රෝහලේ භූගෝලීය පිහිටීම අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය හා අවට පළාත්වල විශාල ජනතාවකට මෙම හෘද කැතීටකරණ ඒකකයෙන් ප්‍රතිකාර සේවා ලබාගැනීමට හැකිවන අතර, හෘද රෝග සම්බන්ධ සුවිශේෂී ප්‍රතිකාර සේවා සඳහා ගාල්ල කරාපිටිය සහ කොළඹ ජාතික රෝහල වෙත යොමු කරන රෝගීන් ප්‍රමාණය විශාල ලෙස අවම කර ගැනීමට ද මෙමගින් අවස්ථාව හිමි වේ.
එමෙන්ම පළමු අවස්ථාවේ ම කඩිනම් ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ප්‍රතිකාර නොමැතිකමින් අහිමිවන ජිවිත රැසක් ආරක්ෂා කර ගැනීමට ද මෙමගින් අවස්ථාව හිමි වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

