වැට් බදු වැඩි වෙන්නේ නෑ
පසුගිය මැයි 03 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එකතු කළ අගය මත බද්ද (VAT) 18% සිට 20.5% දක්වා වැඩි කර ඇති බවට සමාජ මාධ්‍ය හා ඇතැම් පාර්ශව පතුරුවා හරින ප්රකාශයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කරයි.
මහජනතාව නොමග යවන සුළු මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලබයි.
සාමාන්‍ය මහජනතාව එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා සඳහා පනවා ඇති 18% ක VAT බදු ප්‍රතිශතයේ කිසිදු වෙනසක් සිදු කර නොමැත. එබැවින් ඔබ මිලදී ගන්නා සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල කෙරෙහි මෙම සංශෝධනයෙන් කිසිදු බලපෑමක් ඇති නොවේ.
නව සංශෝධනය අදාළ වන්නේ බැංකු හා මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවාවන් සඳහා පමණි. මීට පෙර මූල්‍ය සේවා සඳහා 18% ක VAT බද්දක් සහ 2.5% ක සමාජ ආරක්ෂණ බද්දක් (SSCL) වෙන්ව අය කරනු ලැබීය. නව සංශෝධනය මගින් මෙම බදු දෙකම එකට එකතු කර 20.5% ලෙස තනි බද්දක් ලෙස හඳුන්වා දීම සිදු කර ඇත. මෙය බදු ප්‍රතිශතය ඉහළ නැංවීමක් නොව, පවතින බදු ව්‍යුහය සරල කිරීමකි.
පාරිභෝගිකයාට අමතර බරක් පැටවෙන්නේ නැත. මීට පෙරද මූල්‍ය සේවා ලබා ගැනීමේදී පාරිභෝගිකයා මෙම බදු දෙකම වක්‍රව ගෙවනු ලැබීය. දැන් සිදු කර ඇත්තේ එම බදු වර්ග දෙක එක් ප්‍රතිශතයක් ලෙස එකතු කර ප්‍රකාශ කිරීම පමණක් වන අතර, පාරිභෝගිකයා ගෙවන මුදලෙහි අලුතින් කිසිදු වැඩිවීමක් සිදු නොවේ.
මෙම සංශෝධනය පරිපාලනමය පහසුව සහ විනිවිදභාවය තහවුරු කිරීම අරමුණු කරගෙන සිදු කර ඇත. බදු වර්ග කිහිපයක් වෙනුවට තනි බද්දක් ක්‍රියාත්මක කිරීමෙන් ගණනය කිරීම් සහ පරිපාලන කටයුතු පහසු වන අතර, බදු අය කර ගැනීම වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ හැකියාව ද ඉහළ යයි.
ඒ අනුව, සමාජ මාධ්‍ය තුළ පතුරුවා හරින අසත්‍ය ප්රචාරයන්ට නොරැවටී නිල මූලාශ්‍ර මත පදනම්ව තොරතුරු ලබා ගැනීමට මහජනතාවට අවධාරණය කරනු ලැබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
