වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කරන්න
මුදා ගැනීම් සහ සහන සේවා සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසන්න
යාවත්කාලීන කාලගුණික සහ ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත මුදා හරිමින් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරන්න
මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් කාර්යක්ෂමව සැපයීමට සංචාරක මණ්ඩලයට උපදෙස්
ආපදා තත්ත්වයෙන් විනාශ වූ නිවාස සහ වගා බිම් සඳහා වන්දි ලබා දීම කඩිනමින් සැලසුම් කරන්න
වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කරන්න - ජනපති
ජාතික ආපදා කළමනාකරණ සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස් විය.
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල්ව විමසා බැලීම මෙහිදී සිදු කෙරුණු අතර ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අද පෙරවරුවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමග පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීන්දු තීරණ මෙන්ම ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් මේ වන විට ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම සහ එහිදී මතුව ඇති ගැටලු සහ ඊට ලබාගත හැකි කඩිනම් විසදුම් පිළිබද විමසා බැලීමද මෙහිදී සිදු කෙරිණි.
එමෙන්ම වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වු අතර විශාල ජල කඳක් ඒකරාශී වීමෙන් වැව් බැම්මට සහ ජලාශවල වේල්ලට එල්ල විය හැකි අධික පීඩනය නිසා ඒවා කැඩී යෑමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරමින් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගත යුතු පියවර ගන්නා ලෙසද අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
ආපදා තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් දැනට දිස්ත්‍රික්කවලට වෙන් කර ඇති මුදල් සහ ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසු අතර දැනට වෙන් කර ඇති මුදල් ප්‍රමාණවත් බව නිලධාරීහූ ප්‍රකාශ කළහ.
සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නැගෙනහිර වෙරළ තීරයේ ඇති විය හැකි තත්ත්වය පිලිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර සුළි කුණාටු සහ වර්ෂාපතනය හේතුවෙන් නිරන්තරයෙන් සිදුවන කාලගුණික වෙනස් වීම්, ආපදා තත්වයන් සහ අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳව යාවත්කාලීන තොරතුරු ජනතාව දැනුවත් කිරීම සඳහා නිරන්තරයෙන් මාධ්‍ය වෙත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එමෙන්ම ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ පුවත් මගින් ජනතාව නොසන්සුන් වීම සිදුවිය හැකි බැවින් සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීම් සහගත සහ අවබෝධයෙන් කටයුතු කරන ලෙස ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ නිවාස සහ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.
එහිදී නිරන්තරයෙන් පැන නැගෙන ගැටලුවක් වන තොරතුරු ඉහළට ගලා ඒමේ ප්‍රමාදය හේතුවෙන් අදාළ වන්දි මුදල් නිසි වේලාවට ජනතාවට නොලැබෙන බවත්, එම තත්ත්වය වළක්වා ගැනීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවන්හි ඉංජිනේරු අංශවල සහාය ලබා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම හානියට පත් ගොවි බිම් යථා තත්ත්වයට පත්කිරීමේදී ලබා දිය යුතු පොහොර සහනාධාරය සහ බිත්තර වී සැපයීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ගැටලුවලට මුහුණ පා සිටින විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් කාර්යක්ෂමව සැපයීමට කටයුතු කරන ලෙස සංචාරක මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී මෙරටට පැමිණ සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ කරුණු විමසා සිටි අතර, අදාළ රටවල් සමග සාකච්ඡා කර අප රට මුහුණ දී සිටින හදිසි ආපදා තත්ත්වය සහ සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳ දැනුවත් කිරීමට කමිටුවක් පත් කරන ලෙසද යෝජනා කළේය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, කාලගුණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය යන රේඛීය ආයතන නියෝජනය කරමින් අධ්යක්ෂ ජනරාල්වරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

