ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝගයෙන් පසු රට පුරා සිදු කරන ලද වැටලීම්වලින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (22) පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළිදරව් විය.
එසේ අත්අඩංගුවට ගන්නා ලද මත්පැන් නිෂ්පාදනය කළ ආයතන ලැයිස්තුව, එම මත්පැන් අලෙවි කළ වෙළඳසැල් පිළිබඳව හා වැරදිකරුවන්ට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඇතුලත් වාර්තාවක් 2023.08.31 දිනට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.
ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ආයතනවල බලපත්‍ර සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අවලංගු කිරීමෙන් මෙවැනි වංචනික ක්‍රියා නැවැත්විය හැකි බව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ නියෝජිතයන් මෙහිදී කාරක සභාවේ අවධානයට යොමු කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් රජයට ලැබිය හැකි බදු ආදායම අහිමි වන බවයි. මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග හා එම ක්‍රියාමාර්ග ගත යුතු කාලසීමාවන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට නිසි උපදෙස් දැනටමත් ලබා දී ඇති බව කාරක සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
කෘතිම රා නිෂ්පාදනය කිරීම මගින් රජයට අහිමි වන බදු ආදායම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ස්වාභාවික රා හා කෘතිම රා වෙන් කර හඳුනා ගැනීමේ තාක්ෂණික විශේෂඥතාව මෙරට තුළ ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා නිෂ්පාදනය කරන ලද කෘතිම රා සොයා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද පියවර සම්බන්ධයෙන් වාර්තාවක් 2023.08.31 දිනට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නේය.
මත්පැන් නිෂ්පාදනය කරන ප්‍රමාණ හා ඒ සම්බන්ධයෙන් ගෙවිය යුතු බදු ප්‍රමාණ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නිරීක්ෂණය කළ හැකි පරිදි ඩෑෂ් පුවරුවක් (dash board) සකස් කරන ලෙසද, සුරාබදු ආඥා පනත අනුව මත්පැන් නිෂ්පාදන ආයතනවලට මත්පැන් සිල්ලර වෙළඳාමේ යෙදිය නොහැකි හෙයින් එසේ මත්පැන් සිල්ලර වෙළඳාමේ යෙදෙන මත්පැන් නිෂ්පාදනාගාර ලැයිස්තුව කාරක සභාව වෙත 2023.08.31 දිනට පෙර ලබා දෙන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු හිඟ බදු ගණනය කර හිඟ බදු ගෙවිය යුතු ආයතනවල බලපත්‍ර ස්වයංක්‍රීයව අහෝසි කළ හැකි ක්‍රමවේදයක් සකසන ලෙසද, අන්තර්ජාලය හරහා සිදුවන මත්පැන් වෙළඳාම තාවකාලිකව නවත්වා එම ක්‍රියාදාමය නියාමනය කිරීම සදහා සැලැස්මක් සකස් කරන ලෙසද කමිටුව සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නේය.
තවද, මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්ෂිත ස්ටිකර් ව්‍යාජ ඒවාද, සැබෑ ඒවාද යන්න හඳුනා ගැනීමේ අයිතිය පාරිභෝගිකයාට ලබා දිය යුතු බව කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.
