කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (21දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු 58 හැවිරිදි පුත්තලම නගරයේ පදිංචිකරුවෙකි .
ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා ඔහු ඉදිරිපත් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රය පරීක්ෂා කළ ගුවන් සේවා නිලධාරීන් , ඒ පිළිබඳව සැක මතු වීම නිසා , ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .
එහිදී එම වීසා බලපත්‍රය තාක්ෂණික විමර්ශනයන්ට ලක් කළ එම නිලධාරීන් , මෙම වීසා බලපත්‍රය සම්පූර්ණයෙන්ම කූඨ ලෙස සකස් කළ ව්‍යාජ එකක් බවට කරුණු අනාවරණය කර ගනු ලැබීය .
මොහු කළක් ඉතාලියේ රියැදුරුවරයෙකු ලෙස සේවය කරනු ලැබූවෙකු වන අතර , ඔහුගේ බිරිඳ සහ ළමුන් තවමත් ඉතාලියේ වාසය කරති .මොහු මීට සෑහෙන කාලයකට පෙර ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර , ඒ කාලසීමාව තුළ දී ඔහුගේ නේවාසික වීසා බලපත්‍රය කල් ඉකුත් වී ගොස් තිබේ .
එනිසා මොහු කූඨ ලෙස සකස් කළ මෙම ව්‍යාජ ඉතාලි නේවාසික වීසා බලපත්‍රය සකස් කර ගෙන තිබේ .
ඉන්පසුව මෙම පුද්ගලයා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .