නුවරඑළිය, මාතලේ, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇති වී තිබෙන වැසි තත්ත්වය නිසා එම දිස්ත්‍රික්කවල පිහිටි කඳු නායයෑම්වලට ලක්විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
මෙම අනතුරු ඇඟවීම අද (24දා) සවස 4.00 දක්වා වලංගු බවත්, නාය යෑම් ලක්ෂණ දුටු වහාම එම ප්‍ර‘දේශවලින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙසත් එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොදුවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම්, පොළොව ගිලා බැසීම්, ගස්, විදුලි කණු ක්‍රම ක්‍රමයෙන් ඇලවී යාම, ගොඩනැගිලිවල ගෙබිම් හා බිත්ති මත ඇති වන පිපිරුම් හා ඒවා වර්ධනය වීම, එක්වර ජල උල්පත් ඇතිවීම හා පෙර පැවැති ජල උල්පත් බොරවීම සහ අවහිර වීම් ආදිය නාය යෑම් ලක්ෂණ විය හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි.
මේ අතර, මීට වසර 20කට පමණ පෙර දිවයිනේ විශාලම නාය යෑම වාර්තා වූ කොස්ලන්ද, නාකැටිය ප්‍රදේශයේ නායගිය ස්ථානයට ඉහළින් තවත් නාය යෑමක් සක්‍රිය වී ඇති අතර, මේ වනවිට අක්කර 10කට අධික ප්‍රමාණයක් නාය ගොස් තිබේ.
මෙම නාය යෑම් අවදානම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් නවයකට අයත් පුද්ගලයන් 23 දෙනෙකු පෙරේදා (22දා) ඔවුන් පදිංචිව සිටි ස්ථානවලින් ඉවත් කර ඇත. එම පිරිස් දැනට නාකැටිය ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලික කඳවුරක රඳවා ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් චමිල ඉන්දික ජයසිංහ මහතා පැවසීය.
නාය යෑමට ලක්වූ ප්‍රදේශයට ඉහළින් පිහිටි අම්පිටියකන්ද වත්තේ කම්කරු පවුල් 12ක් පමණ ජීවත් වන අතර, ඔවුන්ගේ අවදානම් තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවත්, ඊයේ (23දා) එම ස්ථානය ආශ්‍රිතව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සමග එක්ව භූමි පරීක්ෂාවක්ද සිදුකළ බවත් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකාර සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම්. උදය කුමාර මහතා ප්‍රකාශ කළේය.
මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.
නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශවලට පෙරේදා (22දා) සවස ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඩෙස්පොඩ් හරහා නුවරඑළිය දක්වා දිවෙන මාර්ගයට (ඒ-7) පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය මුළුමනින්ම ඇනහිට තිබිණි.
මේ අතර, ධාරානිපාත වර්ෂාව සමග දැඩි නාය යෑමේ අවදානමක් පැවතීම හේතුවෙන් කොස්ලන්ද, හඹරගල ප්‍රදේශයේ පවුල් 09කට අයත් සාමාජිකයන් තිස්පස් දෙනෙකු ඊයේ (23දා) එම ස්ථානයෙන් ඉවත් කර ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේය.
එම පිරිස දැනට කොස්ලන්ද, හබරකඩ ප්‍රාථමික විද්‍යාලයේ අවතැන් කඳවුරක තාවකාලිකව නතර කර තිබේ. එමෙන්ම බණ්ඩාරවෙල, පූනාගල වත්තේ හබරගල කොටසේ නාය යෑම් අවදානමක් හේතුවෙන් පෙරේදා (22දා) පවුල් නවයකට අයත් පුද්ගලයන් 32 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කර හබරගල දෙමළ විදුහලේ තාවකාලික අවතැන් කඳවුරකට යොමුකර ඇත. එම පිරිස අතර කාන්තාවන් 13 දෙනෙකු, කුඩා දැරියන් 08 දෙනෙකු, කුඩා දරුවන් 05 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 06 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල කාර්යාලය සඳහන් කරයි.
මීට අමතරව පසුගිය 21 වැනිදා සවස අඛණ්ඩව ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හඟුරන්කෙත, ගන්නෑව, දෙල්පත්කඩ ග්‍රාමයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස පහකට අර්ධ හානි සිදුව ඇත.
මාතලේ දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපය තුළ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් පවුල් 13ක පුද්ගලයන් 61 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
මාතලේ, නාඋල, උකුවෙල හා අඹන්ගඟ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අර්ධ වශයෙන් නිවාස පහක් හා සම්පූර්ණ වශයෙන් එක් නිවසක් විනාශ වී ඇති අතර, එම නිවාසවල පදිංචිව සිටි පවුල් 06කට අයත් පුද්ගලයෝ 26 දෙනෙක් සිය ඥාති නිවාසවල රැඳී සිටිති.
මාතලේ මහ දිසාපති එස්.එම්.ජී.කේ. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ආපදාවට පත් ජනතාවට අවශ්‍ය සහන කටයුතු කඩිනමින් ලබා දුන් බවත්, ඥාති නිවාසවල ජීවත් වන පිරිස් වෙත අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සිදු කරන බවත් මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධානී, සහකාර අධ්යක්ෂ චමින්ද අමරවීර මහතා පැවසීය.
ඉන්දික හේවාවිතාරණ / හැටන් - රංජිත් රාජපක්ෂ/ බණ්ඩාරවෙල - රවිඳු දසුන්/ ඇල්ල - ප්‍රසාද් රුක්මල්/ රිකිල්ලගස්කඩ - ටී.එම්. සෝමපාල/ මාතලේ - රවින්ද්‍ර විරාජ් අබයසිරි/ හල්දුම්මුල්ල - එස්.පී. නානායක්කාර/ බදුල්ල - පාලිත ආරියවංශ