ඉන්දික හේවාවිතාරණ
ගෙවීගිය වසර දෙකක කාල සීමාව තුළදී වෛද්‍යවරුන් දහසකට අධික ප්‍රමාණයක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග රට හැර ගොස් තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
මීට අමතරව තවත් සැලකිය යුතු පිරිසක් රට හැර යාමට සූදානමින් සිටින බවට වාර්තා වන බවත්, මේ නිසා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් රට හැර යාම වළක්වා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියේය.
පවතින වෛද්‍ය හිඟය සම්පූර්ණ කිරීමට විදේශ රටවලින් වෛද්‍යවරුන් ගෙන්වන බවට විවිධ දේශපාලනඥයන් සඳහන් කරමින් සිටියද, වෛද්‍යවරුන් රට හැරයාම වළක්වා ගැනීමට ගත යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
විදේශ රටක වෛද්‍යවරුයෙකු මෙරට රෝහලක සේවයේ යොදා ගැනීමට නම් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ හතළිහකට වැඩි මාසික වැටුපක් ලබාදිය යුතු බවත්, අත්‍යවශ්‍ය ඖෂධ ටික නිසි ලෙස ගෙන්වීමට ඩොලර් නොමැති රටක විදේශ රටවලින් වෛද්‍යවරුන් ගෙන්වන බවට පැවසීම කිසිදු පදනමක් නොමැති කතාවක් බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
වෛද්‍යවරුන් රට හැර යාමේ බලපෑම් රෝහල්වලට අමතරව වෛද්‍යපීඨවල ඉගැන්වීම් කටයුතුවලට පවා දැඩි ලෙස බලපාන බවත්, මේ නිසා මෙම තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
මේ වනවිට සමහර නවක වෛද්‍යවරුන් පශ්චාත් වෛද්‍ය උපාධිය හැදැරීම හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත වීම වෙනුවට කෙටි කලකින් රටින් පිටවීම තෝරාගෙන තිබෙන බවත්, විදේශ රටවල විශේෂඥ පුහුණුව ලබන නවක විශේෂඥ වෛද්‍යවරුන්ද ශ්‍රී ලංකාවේ ස්ථීර සේවයට එක් වීම වෙනුවට මෙරට නොපැමිණ සිටීම ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන බවට පෙන්නුම් කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.