වසර 35ක් තිස්සේ වාරිමාර්ගයේ නිල නිවාසවල ඉන්න පිරිසක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවයේ සිට විශ්‍රාම ගොස් තිබූ නිලධාරීන් 06 දෙනෙකු හා ස්ථාන මාරු ලබා ගොස් ඇති නිලධාරීන් 35 දෙනෙකු තමන් පදිංචිව සිටි නිල නිවාස 2025.12.31 දින වන විටත් ආපසු බාර දී නොතිබූ බවත් අනවසර පදිංචිකරුවන් තිදෙනෙකු ද රැඳී සිටින බවත් කෝපා කාරක සභාවේදී අනාවරණය විය.
ඒ අතරින් වසර 35 ගත වූවත් ඇතැම් පිරිස් මෙලෙස නිල නිවාසවල තවමත් රැඳී සිටින බවද කෝපා කාරක සභාවේදී හෙළි විය. මෙම කරුණු අනාවරණය වූයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2021 - 2023 වර්ෂයන්හි විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, වර්තමාන කාර්යසාධනය සහ 2025.11.25 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නියමිත කාලය අවසන්ව නිල නිවාස බාර නොදී සිටින පිරිස් වෙනුවෙන් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර ඇති බව පැවසූහ. කෙසේ වෙතත් කාරක සභා සභාපතිවරයා, නියමිත කාලය අවසන් වූවත් එම නිල නිවාස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත නැවත පවරා නොගැනීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බව අවධාරණය කළේය. ඒ අනුව වර්තමානය වන විට එම නිල නිවාස ආපසු භාර නොදීමට අදාළව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
මෙහිදී 2025 නොවැම්බර් 25 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශවල වර්තමාන තත්ත්වය විමසීමට ලක් කළ අතර එහිදී අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති අතහැර දමා පවතින ව්‍යාපෘති 11ක් සම්බන්ධයෙන් කාරක සභාව නිලධාරීන්ගේ අවධානය යොමු කරන ලදී. එහිදී කාරක සභාවට අනාවරණය වූයේ එම ව්‍යාපෘති 11න් 3ක වැඩ ක්‍රියාත්මක බවයි.
එමෙන්ම ව්‍යාපෘති 5ක් සිදු කරන ලද කාර්යයන්හි යම් ප්‍රතිලාභයක් ලබා ගත හැකි අයුරින් පවතින බැවින් අවසන් නොකර නවතා දැමීමටත්, ව්‍යාපෘති 2ක් තුළින් ලැබෙන වාරිමාර්ග ප්රතිලාභ අවම බැවින් නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විගණනයට වාර්තා කර ඇත. ඒ අනුව නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව දන්වා ඇති ව්‍යාපෘති 3ක් සඳහා දරන ලද රුපියල් මිලියන 178.12ක මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව කාරක සභාව හමුවේ අනාවරණය විය. එමෙන්ම දැනට වැඩ නැවතී පවතින ව්‍යාපෘති පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
2012 වසරේදී ආරම්භ කර 2014 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබූ සියඹලාන්ගමුව ඔයේ සිට මහගල්ගමුව වැව පෝෂිත ඇළ ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර වසර 13ක් ගත වී තිබුණද එය නිම කර නොමැති බවද කාරක සභාවට අනාවරණය විය. මූලික ඇස්තමේන්තුව රුපියල් මිලියන 500ක් වූ මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 375ක මුදලක් වැය වී ඇත. එම වැය වූ මුදලින් අපේක්ෂිත ප්රතිලාභ මේ දක්වා ජාතික ආර්ථිකයට එක් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මෙහිදී පෙන්වා දෙන ලදී. මේ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරුණු අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යම් වරදක් කළ නිලධාරියකු සිටින්නේ නම් අදාළ නීතිමය කටයුතු සිදු කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
තවද ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාල ප්‍රධාන කාර්යාලය මගින් අධීක්ෂණය වන්නේද යන්න කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. එම කාර්ය මණ්ඩලවල පවතින හිඟතාවය සහ ප්‍රවාහන ගැටලු හේතුවෙන් නිසි ආකාරයෙන් එම අධීක්ෂණ කටයුතු සිදු කිරීමට අපහසු වී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එවැනි අධීක්ෂණයක් නොමැති වූ තැන ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලවල විවිධ විෂමාචාර ක්‍රියාවන් ඇති වන බවත්, එම තත්ත්වය වළක්වා ගෙන කටයුතු කිරීමට කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
