ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද (28) පෙරවරුවේ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත විය.
සිය නිවසේදී ඒ මහතා මියයන විට 89 වැනි වියේ පසුවිය. ඔහු දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයකු ලෙස සැලකේ.
ලේක්හවුස් ආයතනයේ සේවයට බැදුණු ඒ මහතා එම ආයතනය රජයට පවරා ගන්නා තෙක් එහි සේවය කළේය.
ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමග ඊට විරෝධය පළ කොට ඉල්ලා අස්වූ කිහිප දෙනා අතර එල්මෝ ගුණරත්න මහතාද විය.
තායිලන්තයේ ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන්ද කලක් ඒ මහතා සේවය කළේය.
අනතුරුව 1978 යළි ලංකාවට පැමිණි ගුණරත්න මහතා එවකට පැවැති ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී ආරම්භ කළේය.
එම ආයතනය මගින් මුද්‍රණය කළ ‘ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම එකවර කර්තෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා වන්නේද එල්මෝ ගුණරත්න මහතාය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ ගුණරත්න මහතා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ‘සිංහලයා’ පුවත්පතෙනි.
ගුණරත්න මහතා ජනාධිපති සම්මානයෙන් සහ විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.
එල්මෝ ගුණරත්න මහතා අමාත්‍යාංශ කිහිපයකම ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යංශය, සමෘද්ධි හා ක්‍රීඩා අමාත්‍යංශය ඒ අතර වෙයි.
නැසීගිය නන්ද්‍රා ඩයස් ගුණරත්න මහත්මියගේ ආදරණිය ස්වාමිපුරුෂයා වන එල්මෝ ගුණරත්න මහතා දමිත ගුණරත්න, හර්ෂ ගුණරත්න, තුෂාර ගුණරත්න සහ රජීව් ගුණරත්න යන අයගේ පියාණන්ද වේ.
එල්මෝ ගුණරත්න මහතාගේ එක් පුත්‍රයෙකු වන තුෂාර ගුණරත්න මහතා කලක් ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස සේවය කළ අතර පසුව මව්බිම පුවත්පෙත් ප්‍රධාන කර්තෘවරයා ලෙසද සේවය කළේය. මේ වනවිට මව්රට පුවත්පෙත් කර්තෘවරයා ලෙස ඔහු සේවය කරයි.
එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත්‍රයා වූ දමිත ගුණරත්න මහතාද ඊයේ (28දා) රාත්‍රියේ හදිසියේ අභාවප්‍රාප්ත විය.