වැලිකඩ විරෝධතාවේ නිරත වූ කාන්තා රැඳවියන් සිය විරෝධතාව සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමාවගත් බවත්, ඉදිරියේදී සාමකාමීව හැසිරීමට පොරොන්දු වූ බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
එම අමාත්‍යාංශය අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ඒකකය භාරව කටයතු කළ ප්‍රධාන ජේලර්වරිය බදුල්ල බන්ධනාගාරය වෙත මාරු කිරීමට විරෝධය පළ කරමින් බන්ධනාගාර පරිශ්‍රය තුළ විරෝධතාවක් ආරම්භ කළ බවයි.
උපුටා ගැනීම
“වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ඒකකය භාර ප්‍රධානතම ජේලර්වරියට වැලිකඩ බන්ධනාගාරයේ සිට බදුල්ල බන්ධනාගාරයට ස්ථාන මාරුවීමක් ලබාදීමට විරෝධය පළකරමින් බන්ධනාගාර පරිශ්‍රයේ විරෝධතා ව්‍යාපාරයක යෙදුන මෙම කාන්තා රැඳවියන් එය තවදුරටත් ව්‍යාප්ත කරමින් බන්ධනාගාරයේ වහලය මතට නැග පසුගියදා (13දා) සිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේය.
මෙම රැඳවියන් විසින් ඊට සමගාමීව තමන්ට ඇති නඩු කඩිනමින් පවරන ලෙසත්, ඇප ලබාදෙන ලෙසත්, ඉල්ලීම් ලෙස ඉදිරිපත් කරන ලදී. මේ පිළිබඳව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළේ මෙම උද්ඝෝෂණයේ නිරත වන පිරිසට වහලයෙන් බිමට බැස සාකච්ඡා සඳහා ඉදිරිපත් වන ලෙසයි.
මෙම සාකච්ඡාව සඳහා කාන්තා රැඳවියන් නියෝජනය කරමින් රැදවියන් හයදෙනෙකු සහභාගි වූ අතර, මෙවැනි උද්ඝෝෂණයක් සිදු කිරීම පිළිබඳව තමන් සමාව අයැද සිටින බවත්, ඉදිරියේදී සාමකාමීව හැසිරීමට පොරොන්දු වන බවත් මෙහිදී පවසන ලදී.
සාකච්ඡාවේදී උද්ඝෝෂණයේ නිරත වූ කාන්තා රැඳවියන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ තමන්ට පවතින නඩු පැවරීම කඩිනම් කිරීමට හා ඇප ලබාදීම සම්බන්ධයෙන් බලපා ඇති කරුණු පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග සාකච්ඡා කර අවශ්‍ය මැදිහත්වීම සිදුකර කටයුතු කළ හැකි බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවත් අදාළ නිලධාරීන් එම කාන්තා රැඳවියන්ට දැනුම් දී තිබේ.”