වරායේ රඳවාගෙ සිටින ඇති රූපලාවන්‍ය උපරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රට තුළ පැවති වාතාවරණය හමුවේ රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය කිරීම තහනම් කළද, ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ඖෂධ නියාමන අධිකාරියේ සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය පරිදි එම උපකරණ ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, එම ආයතන දෙකෙහි අනුමැතිය ලබාගැනීමේදී අතරමැද සිටින රූපලාවන්‍ය කටයුතු මගින් ජීවනෝපාය සලසා ගන්නා පිරිසකගේ ගැටලුව විසඳුම් නොලැබුණු බවත්, ඒ අනුව ඔවුන්ගේ තත්ත්වයද සලකා බලා පෙරදී තිබූ තත්ත්වයෙන් අඩක් ලෙස හෝ රූපලාවන්‍ය උපකරණ ගෙන ඒමට හැකි වන පරිදි නව චක්‍ර ලේඛයක් සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
එසේම විවිධ රටවලින් නීතියානුකූල නොවන ආකාරයෙන් ගෙන්වන ලද රූපලාවන්‍ය උපකරණ සහිත බහාලුම් හතරක් වරායේ රඳවාගෙන තිබෙන අතර, ඒවා විනාශ කිරීමටද යෝජනා කළ නමුත්, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව ඒවායේ ප්‍රමිතිය යහපත් නම් ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙළෙඳපාළට නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගත් බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ අනුව පෙරකී නව චක්‍ර ලේඛය නිකුත් කරන තෙක් දැනට ගැටලුවලට මුහුණ පා ඇති රූපලාවන්‍ය ක්ෂේත්රයේ නියැලෙන පිරිසට යම් සහනයක් ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.