ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් එහි පවත්නා වර්තමාන ගැටලු පිළිබද සාකච්ඡා කිරීමේ අරමුණින් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් වරාය අධිකාරියේ ඉහල කළමණාකාරිත්වය සමඟ වරාය හා නාවික ගුවන් සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් කේ.ජි.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ජී.යූ.කේ. අල්ගේවත්තගේ මහතා ඇතුලු උසස් නිලධාරීන් සහභාගී වූහ.
2021 වර්ෂයේ පළමු හා දෙවන කාර්තු තුළ කොළඔ වරායේ ආදායම් කටයුතු 2022 වර්ෂයේ පළමු හා දෙවන කාර්තු වලට සාපේක්ෂව සසඳා බැලීමේදී ආදායම් උත්පාදනයේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බැව් මුදල් කොට්ඨාශ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කෙරිණි. එයට හේතු ලෙස ශ්‍රී ලංකාව මුහුණ පා තිබු ආර්ථික අවපාතය සහ අරගලය පදනම් කරගත් වැඩ වර්ජන හා උද්ඝෝෂණ හේතුවෙන් කොළඔ වරායට පැමිණීමට නියමිතව තිබු නැව් 17ක් පමණ කලාපයේ සෙසු වරායන් සඳහා යාම තුළින් ඇති වු ආර්ථික කම්පනයක් බව පෙන්වා දෙන ලදි. මේ හේතුවෙන් ඇතැම් නැව් සමාගම් තවමත් කොළඔ වරායේ සේවාවන් ලබා ගැනීමට මැලි වන බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය කරන ලදී. මේ පිළිබදව අවධානය යොමු කළ අමාත්‍යතුමන් දැනට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පහදා දී කොළඹ වරායේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි යථාවත් කොට ඇති බව නැව් සමාගම් හා නැව් නියෝජිතයින් දැනුවත් කොට නැව් වැඩි ප්‍රමාණයක් සේවාවන් සඳහා අකාර්ශනය කර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් සකසන ලෙස ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අලෙවි හා ව්‍යාපාර සංවර්ධන කොට්ඨාශය වෙත උපදෙස් දෙන ලදී.
නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දීම තම ඉලක්කය බවත්, මෙවන් අසීරු අවස්ථාවකදී පවා ඩොලර් මිලියන 46 ක මුදලක් ආයෝජනය කරමින් නව දොඹකර ආනයනයට පියවර ගෙන තිබීම පිළිබඳව අමාත්‍යවරයා සිය ප්‍රසාදය පල කරන ලදී.