වරාය අධිකාරියේ සේවකයන්ට ලබන වසරේ ජනවාරි 01වැනිදා සිට 36%කින් වැටුප් වැඩිවීමක් සිදුකරන ලෙස වරාය අධිකාරියෙන් ඉල්ලීමක් කළ බව වරාය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
මීට අමතරව වරාය ලාභයෙන් 10%ක මුදලක් සේවකයන්ට ප්රසාද දීමනා ලබාදීමට වෙන් කරන ලෙස හා දැනට වැටුප් වර්ධකයට ගෙවන මුදල දෙගුණයක් සිදුකරන ලෙස ඉල්ලීමක් සිදුකළ බවද එම එකමුතුවේ ප්රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා පැවසීය.
වරාය සේවකයන්ට වැටුප් වැඩිවීම් සිදුවන්නේ, වසර තුනකට වරක් බවත්, මේ අනුව 2021 වසරේදී අත්සන් කළ සාමූහික වැටුප් ගිවිසුම් මේ වසරේ දෙසැම්බරි 31වැනිදා අවසන් වන බවත්, මේ අනුව 2024 වසරේ සිට 2026 දක්වා කාලයට අදාළව සාමූහික ගිවිසුම් ක්රියාත්මක කිරීමට කඩිනමින් වරාය අධිකාරිය විසින් වැටුප් කමිටුවක් පත් කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
2021 වසරේදී වැටුප් වැඩිවීමක් සිදුවුවත් ආණ්ඩුව විසින් මේ වනවිට අසාධාරණ ලෙස උපයන විට බදු අයකර ගැනීම නිසා සේවකයන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත්, මීට අමතරව මෙතෙක් උපයනවිට බදු ගෙවීම සිදුකළේ ආයතනය විසින් බවත් ප්රධාන ලේකම්වරයා සඳහන් කළේය.
වරාය අධිකාරිය විසින් ආදායම් උපදවා දෙන ආයතනයක් බවත්, එහෙත් අඩුම ප්රසාද දීමනාව හිමිවන්නේ, වරයා සේවකයන්ට වන අතර, මේ නිසා සමස්ත ලාභයෙන් 10%ක් ප්රසාද දීමනා ලෙස ලබාදීමට මුදල් වෙන් කරන ලෙසත් ඉල්ලා තිබෙන බවත් ඒ මහතා ප්රකාශ කළේය.
පවතින ආර්ථික ගැටලු නිසා හා අසාධාරණ ලෙස බදු අයකර ගැනීම් නිසා සේවකයන්ට ලැබෙන වැටුප ජීවත්වීමට ප්රමාණවත් නොවන නිසා වැටුප් වර්ධකය ලෙස ලබාදෙන මුදල දෙගුණයක් බවට පත් කරන ලෙසත් පාලන අධිකරියට දැන්වූ බවද ප්රධාන ලේකම්වරයා පැවසීය.
පසුගිය වසර සැලකීමේදී වරාය අධිකාරිය රුපියල් බිලියන 42කට වැඩි මුදලක් ලාභ ලෙස උපයාගෙන තිබෙන බවත්, අදාළ ඉල්ලීම්වලට යහපත් ප්රතිචාර නොලැබුණහොත් වෘත්තීය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.