වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට අදාළව සිදුවන වැටුප් ගිවිසුම් ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවත්, පළමු ක්‍රියා මාර්ගය ලෙස අද(07දා) වරාය සේවකයන් කෑම පැයේදී විරෝධතා ව්‍යාපාරයක් සිදුකරන බවත් වරාය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
වැටුප් ගිවිසුම් අහෝසි කිරීම නිසා වරාය සේවකයන් 8000කට ඉදිරියේදී වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නිර්මාණය වී තිබෙන බවද එම සංගමයේ සමාජික සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් නිරෝෂන් ගොරකාන මහතා සඳහන් කළේය.
2021 වසරේදී අත්සන් කළ වැටුප් ගිවිසුමේ කාලය මේ මස 31 දා අවසන් වන බවත්, වැටුප් වැඩි කිරීමක් සිදුනොකළ හොත් ලබන වසර තුළදී පවා වරාය සේවකයන්ට හිමිවන්නේ දැනට ලබා දෙන වැටුප බවත් හෙතෙම පැවසීය.
ඉදිරි වසර තුනක කාලයක් සඳහා නව වැටුප් ගිවිසුමක් අත්සන් කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබූ බවත්, ආණ්ඩුව විසින් ක්ෂණිකව ගත් තීන්දුවකට අනුව වැටුප් ගිවිසුම් ක්‍රමය අහෝසි කර දැමීමට කටයුතු කළ බවත් ඒ මහතා කීවේය.
රජයේ සේවකයන්ට අයවැයෙන් වැටුප් වැඩි කළත් වරාය සේවකයන්ට අදාළ වරප්‍රසාද හිම නොවන බවත්, වැටුප් ගිවිසුම් අහෝසි කර තිබෙන නිසා වරාය සේවකයන්ට සාධාරණ ක්‍රමවේදයකට අනුව වැටුප් වැඩි විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
වරාය පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආයතනයක් බවත්, මේ නිසා සේවකයන්ගේ මහන්සියට සාධාරණ ආකාරයේ වැටුප් වැඩි වීමක් දිනා ගැනීමට ඉදිරියේදී වැඩවර්ජන පවා සිදුවිය හැකි බවත් පැවසීය.