ශ්‍රී ලංකාවේ වායු දූෂණය ඉහළම නගරය මහනුවර බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ තුළ දැනට පවතින තුරු ආවරණය ප්‍රමාණාත්මකව හා ගුණාත්මවක ඉහළ නැංවීම තුළින් නාගරික ප්‍රදේශවල මුහුණ දෙන වායු දූෂණය, පරිසර උෂ්ණත්වය වැඩි වීම වැනි ගැටලු අවම කර සෙවන සහිත සුවදායී තිරසර නගර ඇතිකිරීම අරමුණු කරගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය කි‍්‍රයාත්මක කරන ‘සහසක් තුරු’ මිලියනයක් ශාක සිටුවීමේ වැඩසටහනේ සමාරම්භයට මහනුවරදී සහභාගී වෙමිනි.
“මේ රටේ තිබෙන නගරවලින් ඉතාමත්ම වායුදූෂිත නගරය කන්ද උඩරට අපේ මහනුවරයි. කොළඹ නගරය යම් ප්‍රමාණයක බේරිලා තිබෙන්නේ මුහුදු සුළං නිසා.
හොඳින් වැඩුණු ගසකට 4 දෙනෙකුට ප්‍රමාණවත් ඔක්සිජන් දවසකට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුණු ගසකට වසරකට මේ වායු ගෝලයේ තිබෙන දූෂිත කාබන් කිලෝග්‍රෑම් 12 ක් පමණ අවශෝෂණය කරගන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුණු ගසකින් හොඳ ජල වාෂ්ප සංයුතියක් ලබාදෙනවා මෙන්ම සෙවනක් ලබාදෙනවා. ඒ වගේම ජලය සංරක්ෂණය වීමද සිදුවෙනවා. මේ සියලු කරුණුත් සමග නෙතට හොඳ දසුනක් මේ තුරුවදුලූ සමග අපට ලැබෙනවා." යැයි චම්පික රණවක මහතා සඳහන් කළේය.