ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ඉතිහාස නව ආයතනයක් ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14දා) අනුරාධපුරයේදී පැවසීය.
“මම විපක්ෂයේ කටයුතු කරන කාලයේ අටමස්ථාන නායක ස්වාමීන්වහන්සේටත් අනෙකුත් ස්වාමීන්වහන්සේලාටත් පැවසුවේ අප ආණ්ඩු බලය ලබාගත් පසුව මෙම සංරක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේත් මා පැවසුවේ, එතුමා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ පසුව මෙම වැඩපිළිවෙළආරම්භ කරන බවයි. මෙම වැඩකටයුතු අප ආරම්භ කළේ ඒ අනුවයි.
මහා විහාර සංරක්ෂණ වැඩපිළිවෙළ හරහා අපට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ උරුමය ආරක්ෂා කිරීමටයි කිරීමටයි. මල්වතු නිම්නය ආශ්‍රිතව සිංහල ශිෂ්ටාචාරය ආරම්භවූ අතර, අනුරාධපුරය ථෙරවාදී බුදුදහමේ අවසන් බළකොටුව ලෙස ආරක්ෂා වෙමින් මහා විහාරය හරහා බුද්ධාගම අග්නිදිග ආසියාව පුරා ව්‍යාප්ත කෙරුණා.
එවැනි විශාල නගරයක් මෙහි පිහිටා තිබුණා. නමුත් මෙම නගරය සිංහල උරුමයක් පමණක් බව මම කියන්නේ නැහැ. ඒ වගේම මෙය බෞද්ධ පමණක් හෝ ශ්‍රී ලාංකික උරුමයක් පමණක් යැයි මම කියන්නේ නැහැ. ඇමතිතුමාත් පැවසූ ආකාරයට මෙය ලෝක උරුමයක්. අපේ වැඩසටහන වන්නේ එම ලෝක උරුමය ඉස්මතු වන ආකාරයට වැඩකටයුතු කිරීමයි.
සිංහලකම හෝ බෞද්ධකම ගැන කතා කරමින් දේශපාලනයට ඡන්දය ගැනීමට පමණක් කටයුතු කිරීමෙන් ඵලක් නැහැ. අපේ ආරම්භය ඇතිවුණේ මේ ආකාරයට බව මේ රටේ සෑම ශ්‍රී ලාංකිකයෙක්ම අවබෝධ කරගත යුතුයි. චීනයට, එංගලන්තයට, ප්‍රංශයට තම සංවර්ධනය ආරම්භ වූ ආකාරය පිළිබඳව ආඩම්බරයෙන් පැවසීමට හැකියි නම් අපිට ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ ශිෂ්ටාචාරය ආරම්භ වූ ආකාරය පිළිබඳව ලෝකයට පැවසිය හැකි විය යුතුයි.
අපේ ඉතිහාසය පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනෙක් පවසන්නේ පාසලේ ඉතිහාසය උගන්වා නැති බවයි. එංගලන්තය, ඇමෙරිකාව පිළිබඳ මා සොයා බැලූ විට දැනගත්තේ එම රටවලද පාසල් විෂයක් හැටියට ඉතිහාසය උගන්වන මට්ටම අඩු බවයි. නමුත් ඔවුන්ගේ රූපවාහිනි නාළිකා ආදිය නරඹන විට ඒවායේ ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳ වැඩසටහන් තිබෙනවා.
දෙවන ලෝක යුද්ධය පිළිබඳ වැඩසටහනක් මා මෑතකදී රූපවාහිනියේ දුටුවා. මේ ආදී වශයෙන් ඔවුන්ගේ ඓතිහාසික තොරතුරු හෝ චිත්‍රපටි බොහොමයක් දැකගන්න පුළුවන්. ඔවුන් ඉතිහාසය පිළිබඳව උගන්වන්නේ ඒ ආකාරයටයි. ඉතිහාසයක් නැති ඇමෙරිකාවක් ඔවුන්ගේ ඉතිහාසය ගැන වැඩසටහන් කරනවා.
ලොව ශ්‍රේෂ්ඨතම පුදගලයා බිහිකළේ ඉන්දියාවයි. ඒ බුදුරජාණන් වහන්සේයි. ඉන්දියාව, තම ශ්‍රේෂ්ඨත්වය නොදන්නා බව වරෙක නේරු මැතිතුමාද සඳහන් කර තිබෙනවා.
මේ සියල්ල සලකා බලා ඓතිහාසික කරුණු කාරණා සොයා බලමින් අප ඉදිරියට යා යුතුයි. විශ්වවිද්‍යාලවල ඉතිහාසය උගන්වන මහාචාර්යවරුන් සහ තවත් කණ්ඩායමක් සමග එක්ව සකස් කළ වාර්තාවක් මා විසින් ඉල්ලූවා. ඔවුන් එය සකස් කර තිබෙනවා. එහි සඳහන් යෝජනාවක් වන්නේ ඉතිහාසය පිළිබඳ ආයතනයක් ලංකාවේ ආරම්භ කිරීමයි. Institute of History මේ පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කර එය පාර්ලිමේන්තුව පනතක් මගින් නීතිගත කිරීමට මා බලාපොරොත්තු වනවා. ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.’’ යැයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.