විපක්ෂනායක ධුරය, පක්ෂයේ නායක ධුරය ඇතුළු මතුව ඇති ගැටලු කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අනිද්දා (05දා) රැස්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
මෙම සාකච්ඡාවේදී මන්ත්‍රීවරුන් සියලු දෙනා සමග සාකච්ඡා කර පොදු එකඟතාවක් මත තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකයන් විටින් විට, විවිධ අවස්ථාවලදී, විවිධ ස්ථානවලදී මේ ආකාරයට හමුවී සාකච්ඡා කරමින් පවතින බවත්, මේ ආකාරයට වරින්වර රැස්වීම් ගණනාවක් පැවැත්වූ අතර, ඊයේ දිනයේදීත් එවැනි රැස්වීමක් පැවැත්වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හා තරුණ දේශපාලඥයන් සමග එකතු වී පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගෙන පොදු එකඟතාවක් සහිතව ඉදිරියට යන බවද මහලේකම්වරයා පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා පවසා සිටියේය.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ කෙසේ ක්‍රියා කළ යුතුද, ඊළඟ ජයග්‍රහණය මෙහෙය වන්නේ කෙසේද, වඩාත්ම හොඳ ක්‍රමය මොකද්ද, හොඳම සංකලනය කුමක්ද ආදි වශයෙන් විවිධ කරුණු මෙම රැස්වීම්වලදී සාකච්ඡා කරන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
යහපාලන ආණ්ඩුවේ සිටි බෞද්ධ විරෝධී මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ ජනාධිපතිවරණය පරාජය වීමට බලපෑ බවත්, මැතිවරණය ආසන්නයේ එවැනි ප්‍රකාශ සිදුකළ බැවින් එම මැති ඇමතිවරන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමට ඉඩක් නොලැබුණු බවත් පැවසූ කාරියවසම් මහතා, මාස තුනකින් පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී සියලු දෙනාට ජනතාව ඉදිරියට යාමට සිදුවෙන බවද ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සම්බන්ධව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් බැහැදැක කරුණු පැහැදිලි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ යාන්ත්‍රණය ප්‍රතිසංවිධානය කරමින් සිටින බවත්, ඒ සඳහා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එ.ජා.ප.යේ බෞද්ධ නායකයන් විසින් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය ජනාධිපතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සිදුකර ඇති බරපතළ ප්‍රකාශ පිළිබඳ ව්‍යවස්ථාදායක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.
මහාචාර්ය හූල් මහතා සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්දැයි ව්‍යවස්ථාදායක සභාවෙන් විමසීමට සැලසුම් කරගෙන සිටින බවත්, ඒ මහතා සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.