විපක්ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නමද එක්සත් ජාතික පක්ෂයේ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී තිබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා ඊයේ (04දා) පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු 3.00ට පැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධව තීරණයක් ගනු ඇති බවද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.
මෙම කරුණු සම්බන්ධව එ.ජා.ප. වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ධනාත්මක ස්ථාවරයක සිටින බවත්, ඒ අනුව බහුතර මතයට ගරු කරමින් තීරණයක් ගැනීමට හැකියාව තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලබාදෙන බවත්, වයෝවෘද්ධ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙන බවත් ඒ මහතා පැවසීය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවින් දිසානායක මහතා,
“එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේ නොයෙකුත් මත තියෙන්න පුළුවන්. සමහර මන්ත්‍රීවරුන් ඒ මත විවෘතව ප්‍රකාශ කර තිබෙනවා. අපේ පක්ෂය ප්රජාතන්ත්රවාදී විවෘත දේශපාලන පක්ෂයක්. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ධුරයට නම් කිරීම සඳහා බහුතරයට හිස නැමුවා. පක්ෂය ජයග්‍රාහී මාවතකට යොමුකර ගන්න පක්ෂය අභ්‍යන්තරයේ ඕනෑම වෙනස්කමක් කරන්න අපි කැමතියි.
මොන වගේ වෙනස්කම්ද කළ යුත්තේ කියලා අපේ මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට, බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ට නොයෙකුත් මත තියෙන්න පුළුවන්. මේ මත සම්බන්ධයෙන් එක තැනකට එන එක අමාරුයි. මන්ත්‍රීවරුන් පුද්ගලික මත ප්‍රකාශ කර තිබෙනවා. එක තැනකට ඇවිත් මේ ප්‍රශ්න කතා කරලා නිගමනවලට එන්න පුළුවන් වේවි කියා සිතනවා. අද රැස්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම හරහා එය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.
ඊළඟ මැතිවරණයට සූදානම් වෙන්න පසුගිය පරාජය විශ්ලේෂණය කළ යුතුයි. එම මැතිවරණයට මුහුණ දෙන්න අවකාශය නිර්මාණය කළ යුතුයි. පොළවේ බිම් මට්ටමේ ජනතාව සමග සිටින එක්සත් ජාතික පක්ෂය කාටවත් නැති කරන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය කඩාගන්න කාටවත් බැහැ. ගාමිණී ලලිත් දෙන්නා පක්ෂය කඩාගෙන ගියත් උපරිමය ගත්තේ ඡන්ද ලක්ෂ 10යි. ඒ නිසා පොහොට්ටුව වගේ පක්ෂ හදලා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද කඩන එක අමාරු දෙයක්.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම මහ මැතිවරණයට කැමැත්තෙන් තරග කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි නාමයෝජනා ලබාදෙනවා. ඒක අපේ ප්‍රතිපත්තිය. අපේ පක්ෂයේ විනය පරීක්ෂණවලට ලක්වෙලා සිටින මන්ත්‍රීවරුන්ට, නීතීය හමුවේ දැවැන්ත දූෂණ චෝදනා තියෙන මන්ත්‍රීවරුන්ට අපි නාමයෝජනා දෙන්නේ නෑ.
අපි දන්න තරමට එවැනි චෝදනා කාටවත් ඇවිත් නැහැ. දේශපාලන මත ප්‍රකාශ කිරීම නිසා වැරදිකරුවන් කරන්න බැහැ. ඒකට උත්තරය දෙන්න ඕන ජනතාව. අපේ වයෝවෘද්ධ මන්ත්‍රීවරු, ඇමතිවරු සෑහෙන පිරිසක් දැටමත් ප්‍රකාශ කරලා තිබෙනවා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. ඒ විදියට තමන්ගේ කැමැත්තෙන්ම තීරණ ගන්නවා නම්, අපේ පක්ෂයට විශාල සැහැල්ලුවක් වෙනවා. ඒ හිස්තැන්වලට දක්ෂ තරුණ නායකයන් නම් කරන්න ඉන් අවස්ථාව ලැබෙනවා.
විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ධනාත්මක මතයක ඉන්නේ. එතුමා තනතුරු බදාගෙන ඉන්න කැමති නැහැ. එතුමා විවිධත්වයට කැමතියි. විපක්ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නම සඳහන් වෙලා තිබෙනවා. කණ්ඩායම් රැස්වීමේදී ඒ ගැන අද (05) අපට ඉතා ධනාත්මක සාකච්ඡාවක් සිදුකරන්න පුළුවන්. පක්ෂ නායක ධුරය ගැන පක්ෂය ඇතුළේ විවිධ මත තිබෙනවා. ඒකට කරු ජයසූරිය මහතාගේ නමත් සඳහන් වෙලා තිබෙනවා. නායකතුමාගේ නම අනිවාර්යයෙන්ම තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නම තිබෙනවා.
අපට ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව ඒ තීරණ ගන්න පුළුවන්. පරිණත දේශපාලන පක්ෂයක් හැටියට හොඳ තීරණවලට එන්න එක්සත් ජාතික පක්ෂයට ධාරිතාවක් තිබෙනවා. ප්රජාතන්ත්රවාදය තුළ අපට ඒ තීරණ ගන්න පුළුවන්. අපි කිසිම දෙයකට බය නෑ. අපි පීඩනවලට බය නෑ. අපේ පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ බෙල්ලෙන් අල්ලලා, අපට තර්ජන කරලා වෙනත් මාර්ගවලට ගෙනියන්න බැහැ. අපි ඉන්නේ ප්රජාතන්ත්රවාදී මාර්ගයේ. බහුතර මතය අනුව ක්‍රියා කරනවා. සමහර කට්ටිය තනතුරු දුන්නැත්නම් කඩාගෙන යන බවට තර්ජනය කරනවා. අපි ඒවට බය නෑ.
මම දන්නවා මගේ තාත්තා පක්ෂයෙන් පිට ගිහිල්ලා ඉතාම අමාරු සටනක් කරන්න වුණා පක්ෂයේ ඡන්ද කඩාගන්න. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද කඩන්න හරිම අමාරුයි. ඒක ගාමිණී දිසානායකටත් බැරි වුණා, ලලිත් ඇතුලත්මුදලිටත් බැරිවුණා, රුක්මන් සේනානායකටත් බැරිවුණා.
දේශපාලන ප්‍රශ්නයක් තිබෙන කොට ඒක පැය 24න්, දවස් 07න් විසඳන්න අමාරුයි. සමහර වෙලාවට මේක විසඳන්න කණ්ඩායම් රැස්වීම් තුන හතරක් තියන්න වේවි. නිල නොවන වශයෙන් ඊට පිටුපස්සේ සාකච්ඡා ගොඩක් කරන්න වේවි. ඔක්කොම අපේ මිත්‍රයන් ඉන්නේ. අපේ පාර්ලිමේන්තු සගයන් ඉන්නේ.
අපි අතරේ ලොකු වෙනස්කම් නැහැ. පක්ෂය ඉදිරියට යන්නේ කොහොමද කියලා මතවාද තියෙන්න පුළුවන්. අපට එක තැනකට එන්න පුළුවන් වේවි. අපේ බිම් මට්ටමේ සාමාජිකයන් වෙනත් පක්ෂයක් හදන මානසිකත්වයක ඉන්නවා කියලා අපි හිතන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයට දැඩි විනයක් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ඉල්ලා සිදුකළ අත්සන් 57 ගැන පිටුපස්සේ කතා ගොඩක් තිබෙනවා. මේ ප්‍රශ්න අපට පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන්.
රනිල් වික්‍රමසිංහ මහතා අපිට කිසිම ඉඟියක් දීලා නැහැ ඔහු ජාත්‍යන්තර තනතුරකට යනවා කියලා. ජාත්‍යන්තර තනතුරකට යන්න පුළුවන් සුවිශේෂී දේශපාලන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහතා. ඕනෑම ජාත්‍යන්තර තනතුරකට එතුමාට සුදුසුකම් තිබෙනවා. එතුමාට පක්ෂනායක තනතුරේ ඉන්න කියලා ඉල්ලීමක් තිබුණොත් ඉඳීවි. එවැනි ඉල්ලීමක් නැත්නම් එතුමා යාවි" යනුවෙන් පවසා සිටියේය.