විපක්ෂ නායක ධුරය සඳහා නම් දෙකක් යෝජනාවී ඇති බවත්, සන්ධානයේ මතය හෙට (06දා) සවස් වනවිට සාකච්ඡා කර කථානායක වෙත දැනුම් දෙන බවත් විපක්ෂනායක කවුරුන්ද කියා සවස් වනවිට දැනගැනීමට හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවිර මහතා අද (05දා) පෙරවරුවේ මාතලේදී පැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ‘වැව් දහසයි- ගම්දහසයි‘ වැඩසටහන යටතේ මාතලේ ඊරියගොල්ල වැව සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එසේම මේ අවස්ථාවේ මැති ඇමති වැටුප් වැඩි නොවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා,
“මේ වෙලාවේ මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි නොවිය යුතුයි. ඒ වෙනුවට ගොවි ජනතාවගේ, කම්කරු, ධීවර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් දියත් කිරීමට කාලය එළඹ තිබෙනවා.
මාධ්‍යට ප්රවෘත්ති මැවීම සඳහා විවිධ කාලවලට එක එක මාතෘකා එනවා. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය කාලයක් අල්ලාගෙන සිටියා. දැන් මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීමක් ගැන කතා කරනවා.
පොළොන්නරුවේ, හම්බන්තොට පමණක් නොව මාතලේ ඇතුළු සමස්ත ලංකාවේම සංවර්ධන කටයුතු සිදුවනවා. මේවාට නිසි ප්‍රචාරයක් නැහැ. අපි කියන එක වචනයක් දෙකක් අල්ලාගෙන කතා හදනවා. පසුගිය කාලයේ සිදුකළ වැඩවලට වඩා බෝඩ් ගැහුවා. අපිත් දැන් ඒ දේ ඉස්සරහට කරන්න සිද්ධ වේවි.” යැයි පවසා සිටියේය.
රත්තොට රුවන් ධනංජය