වන අලින් පළවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි දේශීය ගිණිකෙළි කර්මාන්තකරුවන්ගෙන් මිල දී ගන්නා අතර වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14කි. මේ සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
වන අලින් වගා බිම්වලට හා ගම්වලට කඩා වදින අවස්ථාවල දී ඔවුන් පළවා හැරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් එම ගම්මානවල ජනතාවට නොමිලයේ අලි වෙඩි සපයනු ලබයි.
මිනිස් - වන අලි ගැටුම සමතයකට පත් කිරීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග තාවකාලික ක්‍රියාමාර්ග වන අතර ඒවායින් ස්ථිර විසදුමක් මෙතෙක් නොලැබී තිබේ. විශේෂයෙන් අලින්ගේ වාසස්ථාන පිහිටි කැළෑ ඉඩම්වල මිනිසුන් පදිංචිවීමත්, වගාව සදහා යොදා ගැනීමත් මෙන්ම වනබිම්වලට ගවයින් මුදා හැරීම නිසා වන අලින්ට අවශ්‍ය ආහාර පාන හිඟවීමත් වන අලින් ගම්වැදීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දී ඇතැම් ගම්මානවල ජනතාව වන අලින් ගම් වැදුනු අවස්ථාවල ඔවුන් පළවා හැරීම සඳහා වනජීවි නිලධාරින්ගෙන් නිසි සහයෝගයක් නොලැබෙන බවට ජනතාව විසින් කරන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළේය.
එහිදී අදහස් පළ කළ වනජීවි දෙපාර්මේන්තුවේ නිලධාරිහු වාර්ෂිකව අලි වෙඩි විශාල වශයෙන් අවශ්‍ය වන බවත්, ඒ සඳහා රජයේ මුදල්වලින් විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි ද අවධාරණය කළේය.
ගම්වලට වන අලින් ගම්වැදුනු අවස්ථාවල එම ගම්වල ජනතාව වනජීවි නිලධාරින්ට දැනුම් දුන්නත්, මේ වනවිට පවතින ඉන්දන සීමාවන් නිසා ඇතැම් අවස්ථාවල වනජීවි නිලධාරින්ට නියමිත වේලාවට අදාල ස්ථානයට ගමන් කිරීමේ ප්‍රායෝගික අපහසුතා ද මතුව ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.
දැනට පවතින අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අලි වෙඩි සඳහා දැනට වැය වන මුදලට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදු විය හැකි බව ද ඔවුහු අවධාරණය කළහ.