විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමේදී සිදුවන බව කියන මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම තොරතුරු වල සත්‍යතාවක් තිබෙනු ඇතැයිද එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගනු ලබන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවත්, යම් වරදක් කවුරුන් හෝ පෙන්වා දෙන්නේ නම් එය නිවැරදි කිරීමට රජය කිසිසේත් පසුබට නොවන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යරු ඇතුළු පිරිසක් සමඟ අද (14) සිදු කළ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“කොවිඩ් රෝගීන් හෝ මරණ සම්බන්ධ දත්ත හිතාමතා වෙනස් කිරීමක් කිසි ලෙසකින් හෝ සිදුවන්නේ නැහැ. හිතාමතා එවැනි දෙයක් කරනවා නම් පෙන්වන්න කියා මම අභියෝග කරනවා.
කොවිඩ් මර්දනයේදී යම් යම් අඩුපාඩු සිදුවිය හැකියි. සියයට සීයක් ඉරක් ගැහුවා වගේ හරියට හැමදේම සිද්ධ වෙන්නේ නැහැ. යම් යම් අවස්ථාවල අඩුපාඩු දකින්න පුළුවන්. නොසිතූ මොහොතක ක්ෂණිකව යමක් සිදුවිය හැකියි. සෞඛ්‍ය අංශ එහෙම දේවල් වලට නිරන්තරව මුහුණ දෙනවා. මේවා දෙස මධ්‍යස්ථව බැලිය යුතුයි. අඩුපාඩු දකින්න අවශ්‍යය නම් ඒවාත් හොයන්න පුළුවන්. අඩුපාඩු හොයන අයට ඒවා හොයන්න ඉඩ හැරලා අපි කළ යුතු දේ නිවැරදිව කළ යුතුය.
ස්පුට්නික් එන්නත් 120,000 ක් මේ සතියේ එන්න ඉඩ තිබෙනවා. ඒක ආ පසු දෙවන මාත්‍රාව සම්බන්ධ ප්රශ්නය විසඳෙනවා. අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා. පාසැල් ළමුන්ට එන්නත ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වෙන් පැවැති කොවිඩ් කමිටුවේදී සාකච්ඡා වුණා .
එහිදී අදහස් දෙකක් මතුවුණා. එකක් අවුරුදු 12 සිට 18 දක්වා දරුවන්ට එන්නත ලබාදී 07 සිට 13 දක්වා පන්ති ආරම්භ කළ යුතුයි කියන එක. තව මතයක් ආවා පෙර පාසැල් සමඟ එකේ පන්තියේ සිට 06 දක්වාවූ පන්ති ආරම්භ කළ යුතුය කිය. පෙර පාසැල් අත්දැකීම ගිලිහුණොත් ඒක කවදාවත් ළමයෙකුට නැවත ලැබෙන්නේ නැහැ. එහි ප්‍රතිපල භයානක විය හැකි බව අධ්‍යපනඥයින් පෙන්වා දුන්නා.
අපි කල්පනා කළා මේ මත දෙකම දරන පිරිස එක තැනකට ගෙනල්ලා සාකච්ඡාවක් කරන්න. ඒ අනුව තීන්දුවක් ගන්නවා පෙර පාසැල් සමඟ එකේ සිට 06 දක්වා පන්ති පටන් ගන්නවාද නැත්නම් 06 සිට 13 දකවා පන්ති පටන් ගන්නවාද කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අදහසක් තිබුණා 12 සිට 18 දක්වා අයට එන්නත් ලබා දෙන්න. දින හතරකට පෙර ජෝන් හොබ්ස්කින් විශ්ව විද්‍යාල පරීක්ෂණ අනුව 12 සිට 15 දක්වා දරුවන්ට එන්නත ලබාදීමෙන් යම් ආබාධ මතුවිය හැකි යැයි මතයක් ප්‍රකාශ කළා
.ඒ ගැන දැන් පරීක්ෂණ කෙරෙනවා. ඒ මතයත් සමඟ ලෝකයේ දෙමව්පියන් 12 -15 අතර ළමුන්ට එන්නත ගහන්න අකමැත්ත ප්‍රකාශ කළා .අපිට ලෝක මතවාද වලින් බේරී කටයුතු කරන්න බැහැ. අපිටත් ඒක බලපානවා. හොඳම දේ තමයි අපි කරන්නේ.”