කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පනවා ඇති රටවල රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
එම රටවල රාජ්‍ය නායකයින් හා සෞඛ්‍ය අංශ හා සංචාරක බළධාරින් දැනුවත් කිරීමට ඒ අනුව කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.
මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග පැවති සාතච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.
සාකච්ඡාව පැවැත්වුණේ සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනයේ ශ්‍රවණාගාරයේ දීයි.
මේ වන විට ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පණවා ඇති අතර බ්‍රිතාන්‍ය පසුගිය දා ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවෙන් ඉවත් කළේය. පසුගිය කාලය තුළ මෙරට කොවිඩ් පැතිරයාම සැලකිල්ලට ගනිමින් මෙම රටවල් මෙම සීමා පනවා තිබේ. මෙම සාකච්ඡාවේ දී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ඒ ඒ කළාප භාර නිළධාරීන් ඇමතිවරයාට පෙන්වා දුන්නේ එම රටවල් වල පවතින සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ දී බාධා ඇති බවයි.
එමෙන්ම මෙරට ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මෙරටට සංචාරකයන් පැමිණීම සීමා වීමට හේතු වී ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.