ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් අද (12දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයන් මෙම හමුවට එක්ව සිටි අතර එම ආයතනවල පැන නැගී ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබද මෙහිදී අවධානය යොමු කෙරිණි.
විදුලිබල ක්ෂේත්රයට අදාළව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡාවට ලක් විය. ඒවා ආරම්භ කිරීමට පෙර නිසි සක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
එමෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදුලිබල ක්ෂේත්රයට අදාළව සිදුකර ඇති යෝජනා පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යෝජනා සදහා අමාත්‍යාංශ නිලධාරින්ගේ පූර්ණ එකඟතාව පළ කෙරිණි.
විදුලිබල අවශ්‍යතාව සපුරාගැනීම සහ ඒ වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති පිළිබද විදෙස් රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සදහා ආයෝජකයන් ගෙන්වා ගැනීම සහ එහිදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.
මෙහිදී අනාවරණය කෙරුණේ පසුගිය වසර කිහිපය තුළ විදුලි බල ක්ෂේත්රයට අදාළව විදේශ රටවල් රැසක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබුණ ද ඉන් බොහොමයක් රාජ්‍යයන් අතර අත්සන් තැබුණු ඒවා නොව පෞද්ගලික සමාගම් සමඟ ඇතිකරගත් එකගතාවන් බවයි.
එබැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී නිසි අධ්‍යයනයන් සිදු කරමින් රටට හිතකර අන්දමින් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.