වෛද්‍යවරුන් සඳහා විශේෂ වරප්‍රසාදයක් ලෙස ලබාදී ඇති වෛද්‍ය වාහන අවසර පත්‍රය මේ වනවිට ඇතැමුන් ව්‍යාජ ලෙස මුද්‍රණය කොටගෙන භාවිතා කරන බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගන්නා මෙන් පොලීසියෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා,
“බදුල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් නොවන දෙසීයක පමණ පිරිසක් වෛද්‍යවරුන්ට හිමි මෙම වරප්‍රසාදය අනියම් ලෙස භාවිතා කරන බව හෙළිවී ඇතැයිද රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් ඇතුළු බොහෝ පිරිසක් පෞද්ගලික පරිගණක ආයතනවලින් මෙම වෛද්‍ය වාහන අවසර පත්‍ර ව්‍යාජ ලෙස නිර්මාණය කොටගෙන තම වාහනවල අලවාගෙන ඇතැයිද සඳහන් කළේය.
අසාධ්‍ය රෝගියෙකුට ප්‍රතිකාර පිණිස යාම වැනි හදිසි අවශ්‍යතාවයකදී ප්‍රමුඛත්වය ලබාගැනීම හා එවන් හදිසි අවශ්‍යතාවයක් උදෙසා වාහනය යම් ස්ථානයක නතර කිරීම වැනි අවස්ථාවකදී යම් හිමිකමක් ලබාගැනීම වැනි සාධාරණ මානුෂික අවසරයක් මෙම වාහන අවසර පත්‍ර මඟින් වෛද්‍යවරුන්ට ලබාදී ඇති අතර එය ව්‍යාජ ලෙස භාවිතා කිරීම තුළින් යමෙකුට වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටිමින් අසාධාරණ ලෙස යම් වරප්‍රසාද ලබාගත හැකි බවද මේ සඳහා ලැබෙන ප්‍රමුඛතාවය තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නීතිවිරෝධී කටයුතුවලට මෙම අවසර පත්‍රය ආවරණයක් කරගත හැකි බවද පෙන්වා දෙන වෛද්‍ය රාජපක්ෂ මහතා, මෙම අවසර පත්‍රය වාහනයේ ප්‍රදර්ශනය කොට තිබුණද සැකකටයුතු වාහන පරීක්ෂා කරන ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර වෛද්‍යවරුන් මුවාවෙන් ව්‍යාජ ලෙස වෛද්‍ය වාහන අවසර පත්‍ර නිර්මාණය කරගෙන භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව පොලිසිය හා සෞඛ්‍ය බලධාරීන් කඩිනම් පියවර ගත යුතුව ඇතැයිද අවධාරණය කරයි.
මේ පිළිබඳව බදුල්ල මූලස්ථාන පොලීසිය දැනුවත් කර ඇති අතර අදාළ පොලිස් ප්‍රධානීන් හා සෞඛ්‍ය බලධාරීන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන ඇතැයිද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.