වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග 02 ක් පාර්ලිමේන්තුවේදී අද (03) සම්මත විය.
ඉන් එක් නියෝගයක් වූයේ මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරයෙක් බවට පත් වීමට නම් අවම වශයෙන් උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථ 01 ක් මූලික සුදුසුකම් වශයෙන් පැවතිය යුතු බවට වූ නියෝගය පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඊට ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තම විරෝධය පළ කල අතර, ඔහු යෝජනා කර සිටියේ වසරින් වසර එම සුදුසුකම සංශෝධනයට ලක්වන ලෙස නියෝගය ආඥාපනතට එක් කල යුතු බවයි. එබැවින් නියෝග 02 සම්මත නොකර උපදේශක කාරක සභාවේදී ඒ පිළිබදව වැඩිදුර සාකච්ජා කර සංශෝධනය කළ යුතු බවට ඔහු යෝජනා කළේය.
එහෙත් එයට ආණ්ඩු පක්ෂය එකග නොවූ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී එකග වූ පරිදි එම නියෝග සම්මත කළ යුතු බවට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි පෙන්වා දුන්නේය.
ඉන්පසු දිසානායක මහතාගේ විරුද්ධත්වය සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ නියෝග 02 පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අද විවාදයේ පිළිතුරු කථාව කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ මෙම නියෝග 02 සම්මත කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි. ඉන් වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිති සහගත වන බවද ඇය පෙන්වා දුන්නාය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ගැටළුවකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය පෙන්වා දුන්නේ, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පත් කිරීම ක්‍රමවත්ව සිදු වූ බවයි. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද ඇය පෙන්වා දුන්නාය.
වෛද්‍ය සභාව මගින් රැසියානු විශ්වවිද්‍යාල 03 කින් ලබාදෙන උපාධි තහනම් කිරීම පිළිබදව කිරිඇල්ල මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරිය පැවසුවේ ඒ සම්බන්ධව කඩිනමින් සොයා බලන බවයි. තාවකාලිකව එම තහනම ඉවත් කිරීමට කටයුතු කළ බවද ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
කොවිඩ් 19 වසංගතයට අදාළව පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා පර්යේෂණාගාර 25 ක් මේ වන විට ස්ථාපිත කර තිබේ. දිනකට පීසීආර් පරීක්ෂණ 8000 කට අධික ප්‍රමාණයක් දැන් සිදු කරන බවද ඇය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
නිරෝධායන පනතට සංශෝධන එක් කිරීමට ප්‍රමාද වූයේ ඒ පිළිබද පුළුල් අධ්‍යයනයක් කිරීමට සිදු වූ හේතුවෙන් බවද ඇය පෙන්වා දුන්නාය. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන තැනැත්තන් අත්අඩංගුවට ගැනීමේ බලය නව සංශෝධන මගින් පොලිස් නිලධාරින්ට හිමි වේ. මෙම රෝගය පාලනය සඳහා ජනතා සහාය උපරිමයෙන් අපේක්ෂා කරන බවද ඇය පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළාය.
විදෙස් ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 50000 ක් පමණ දිවයිනට රැගෙන ඒමට රජය කටයුතු කර තිබේ. රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම කටයුතු ඉදිරියටත් සිදු කරන බවද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 128 ලැබී තිබෙන අතර, එම ණය මුදල 2023 වසර වනතෙක් වියදම් කළ යුතු අතර, ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 35 ක් මේ වන විට සෞඛ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් වියදම් කර ඇති බවත් , තවත් අමෙරිකානු ඩොලර් මිලියන 22 ක් වියදම් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
නිරෝධායන පනත මුළු ලංකාවටම පොදු වන්නක් වන අතර, මෑතකදි නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් පොදු ස්ථාන යන්නෙන් අර්ථ දැක්වෙන්නේ එළීමහන් පොදු ස්ථාන බවද ඇය පැහැදිලි කළාය.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා මරණ සංඛ්‍යාව සැලකියයුතු මට්ටමකින් පාලනය වී තිබෙන බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා භේද වලින් තොරව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නාය.
මෙරට කොවිඩ් රෝගින්ගෙන් සියයකට 60 කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ගැටලු සහගත බවද ඇය පැවසුවාය. ගම්පහ දිස්ත්‍රීක්කයේ තත්ත්වය පාලනය කර තිබේ. රට තුළ පවතින මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනමින් හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඇය පෙන්වා දුන්නාය.