වතුකරය පුරා වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා බව මනෝ කියයි
හොරණ වැවිලි සමාගමට අයත් මස්කෙළිය ගවරවිල වතුයායේ වතු පාලන අධිකාරිය විසින් වැඩ තහනම් කර ඇති වතුකම්කරුවන් 08 දෙනාට යලිත් සේවයට වාර්ථා කිරිමට වතු පාලන අධිකාරිය ඉඩ ලබා නොදුන හොත් වතුකරය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බව දමිළ ප්රගතිශීලි සංධානයේ නායක සහ පා.ම. මනෝගනේෂන් මහතා අවධාරණය කර සිටියි.
මස්කෙළිය ගවරවිළ වතුයායේ වතුකම්කරුවන් පිරිසක් සහ වතු පාලන අධිකාරිය සමග ඇති වූ ගැටළුවක් සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය මගින් එම වතුයායේ වතු කම්කරුවන් 08 දෙනෙකුව විනය පරික්ෂනයක් බව පවසමින් 2025 දෙසැම්බර් 24 දින සිට වැඩ තහනමකට ලක් කර ඇත.
වැඩ තහනමට ලක් වූ වතු කම්කරුවන් 08 දෙනා යලිත් තමන්ව සේවයට පිහිටුවන ලෙස වතු පාලන අධිකාරියට බල කරමින් එම වතුයායේ කොවිල ඉදිරිපිට ඉකුත් (05) දින සිට සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.
එම සත්‍යග්‍රහයට සහයෝගය දක්වා එම වතුයායේ වතු කම්කරුවන් වැඩ වර්ජනයකද නිරතවන අවස්ථාවක හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතාගේ මැදිහත් වීමක් මත වතු පාලන අධිකාරිය සහ වතු වෘත්තීය සමිති නායකයින් වන පා.ම. පලනි දිගම්බරම්, මනෝගනේෂන් අතර සාකච්ඡාවක් (08) දින හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේදි පැවැත්විණ.
මෙහිදි පොලිස් අධිකාරිවරයා දෙපාර්ශවය අතරේ කියා සිටියේ මෙම ගැටළුවට සම්බන්ධයෙන් සාකච්ඡා කර විසදුමක් ලබා ගැනීම මිස රටේ තේ ආර්ථිකයට පාඩු කරමින් කටයුතු කිරිම තුල මෙයට විසදුම් නොලැබෙන බවයි.
සාකච්ඡාවට සහභාගි වු හොරණ වැවිලි සමාගමේ වැවිලි අධ්‍යක්ෂක මලික් සමරවික්‍රම මහතා සහ එම වතුයායේ වතු අධිකාරි ප්‍රදීප් යන මහතුන් කියා සිටියේ විනය පරික්ෂණය අවසන් වන තෙක් එම වතුකම්කරුවන් 08 දෙනා යලිත් සේවයේ පිහිටු වීමට නොහැකි වන බවයි.
එම අවස්ථාවේ වතු පාලන අධිකාරිය, මනෝගනේෂන් සහ පලනි දිගම්බරම් මහතා අතර දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
එහිදි හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දෙපාර්ෂවය අතරේ කියා සිටියේ, වතු සමාගමේ ඉහළ පාලන අධිකාරිය සමග දුරකථනයෙන් සාකච්ඡා කර කඩිනමින් විසදුමක් ලබා දෙන බවයි.
පසුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වතු සමාගමේ උසස් නිළධාරින් සමග සාකච්ඡා කර (09) දින සාධනීය පිලිතුරක් ලබා දෙන බවට පොරොන්දු විමත් සමග සාකච්ඡාව අවසන් විය.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ දමිළ ප්රගතිශීලි සංධානයේ නායක පා.ම. මනෝ ගනේෂන් මහතා සහ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් යන මහතුන් කියා සිටියේ, වත්මන් රජය මගින් වතු කම්කරුවන්ට රු.400ක වැටුප් වැඩි කිරිමට රජය ගෙන ආ අයවැය යෝජනාවේදි තමන් ඒ සදහා ඡන්දය භාවිතා කල බවයි.රජය කරන යහපත් ක්‍රියාවන් වලදී රජයට සහයෝගය දීමටත් එම මන්ත්‍රීවරුවන් දෙදෙනො පැවසීය.
ගවරවිල වතුයායේ පාලන අධිකාරයේ පාලන අධිකාරිය මගින් වැඩ තහනමට ලක් කර ඇති වතුකම්කරුවන් 08 දෙනාට සාධාරණටයක් ඉටු නොකරන්නේ නම් වතුකරය පුරා දැඩි වෘත්තීය සිමිති ක්‍රියාමාර්ගයක නියෑලිමට පියවර ගන්නා බවයි.මෙම සාකච්ඡාවට මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පුෂ්ප කුමාර මහතා සහ එම වතුයායේ වතුකම්කරුවන් රැසක් සහභාගි වී සිටියහ


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

