දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැගෙන ආ වට්ටක්කා තොග අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙන බවත් වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් තිහේ සිට හතළිස් පහ දක්වා වූ මිල ගණන් පවතින බව ගොවීහු පෙන්වා දෙති.
රුපියල් තිහටවත් වට්ටක්කා මිලදී ගැනීමට ගැනුම්කරුවන් නොමැතිවීම නිසා දින ගණනාවක් තමන්ගේ නිෂ්පාදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තබාගෙන රැඳී සිටීමට සිදුවී ඇතැයි වට්ටක්කා ගොවීන් පවසති.
තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබියදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරින් පිහිටි එළවළු සිල්ලරට අලෙවි කරන පෞද්ගලික වෙළඳසැල්වල වට්ටක්කා කිලෝවක සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මිලකට පාරිභෝගික ජනතාවට අලෙවී වීම විශේෂත්වයකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය හොරොපතාන සහ විවිධ ප්‍රදේශ වලින් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා තොග විශාල වශයෙන් ලැබෙමින් පවතී.
ගොවීන් සඳහන් කර සිටින්නේ විශාල මුදලක් වියදම් කරමින් වන අලින්ගෙන් වගාබිම් ආරක්ෂා කරමින් විශාල ප්‍රවාහන වියදමක් දරමින් දඹුල්ලට තම නිෂ්පාදන රැගෙන ආවද ඒවා අලෙවි කර ගැනීමට නොහැකිවීම නිසා වට්ටක්කා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවය.
කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් සඳහන් කර සිටින්නේ කුමන හෝ වැඩපිළිවෙලක් මීට තවමත් ලැබී නැති බවය. වට්ටක්කා තොග විශාල වශයෙන් ලැබීමත් සමඟ ඒ වාගේ ඉල්ලුම අඩුවී ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
ඇතැම් අවස්ථාවන්හිදී රුපියල් තිහකටවත් වට්ටක්කා කිලෝවක් මිලදී ගැනීමට නොහැකි බවත් ඔවුහු පෙන්වා දෙති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වට්ටක්කා තොග ගෙනැවිත් ගොවීන් ලොරි රථවල සහ බිම හලා ගොඩ ගසා ඇති අයුරු එහි ගිය අපට ද දැක ගැනීමට හැකි විය.
කෙසේ වෙතත් තම නිෂ්පාදන වලට සාධාරණ මිලක් ලබා දෙන ලෙස වට්ටක්කා ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ගොවීන්ගේ නිෂ්පාදන වියදම වැඩි වී තොග මිල විශාල වශයෙන් අඩුවී තිබුණද පාරිභෝගික ජනතාවට එම මිල අඩුවීමේ වාසිය පෞද්ගලික සිල්ලර වෙළද සැල්වලින් නොලැබීම බරපතල ප්‍රශ්නයක් බවත් රුපියල් තිහත් හතළිස් පහක් අතර මිලකට අලෙවිවන වට්ටක්කා කිලෝව රුපියල් දෙසීයක් වැනි ඉහළ සිල්ලර මිලකට අලවිවන අයුරු දැක ගැනීමට හැකි විය.


