වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගිනි අවි ලබා දීම විසඳුමක් නොවන බවත් නව විද්‍යාත්මක හා සාම්ප්‍රදායික ක්‍රම පිළිබඳව නිසි අධ්‍යයනයක් අදාළ විෂයභාර ආයතන විසින් සිදු කළ යුතුව ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ගොවීන් විසින් වගා කරන භෝගවලින් සියයට 40ක් පමණ වාර්ෂික ව වනසතුන් විසින් විනාශ කරන බව හෙළි වී තිබේ. වගාවන්ට හානි කරන සතුන් අතර රිළවා, වඳුරා, මොනරා , වල් ඌරා හා දඩුලේණා මෙන්ම ඉත්තෑවා ද ප්‍රධාන වේ.
මෙම සතුන්ගෙන් වගා හානි වළක්වා ගැනීම සඳහා හෙක්ටෙයාර් එකකට වඩා වගා කරන ගොවීන් වෙත ගිනි අවි නිකුත් කිරීමට රජය තීරණය කර ඇත්දැයි යන්න සම්බන්ධව පසුගියදා මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාගෙන් කරුණු විමසනු ලැබීය.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා “අප රටේ වගාකරන භෝගවලින් සියයට 40ක් පමණ වනසතුන් විනාශ කරන බව සිදු කළ සමීක්ෂණයකින් හෙළිදරව් වුණා. එවකටත් ගොවි ජනතාව වායු රයිපල් හෝ පතරොම් තුවක්කු ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් ඒ වෙනුවෙන් පියවර ගත්තේ නෑ.
වනසතුන් මරා දමනවාට වඩා ඔවුන්ගේ බෝවීම අඩු කළ හැකි ක්‍රම හා ඔවුන් පළවා හැරීමට යොදා ගත හැකි නව තාක්ෂණික ක්‍රම මෙන්ම විදුලි උපාංග හඳුන්වා දිය හැකියි. රජය ගොවීන්ට ගිනි අවි ලබා දෙන්නේ ආදල ගොවීන් හෙක්ටෙයාර් එකකට වඩා වගා කර තිබුනොත් පමණයි. එමෙන්ම ග්‍රාම නිලධාරි , ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිර්දේශය ඒ සඳහා තිබිය යුතුයි. එමෙන්ම මෙම ගිනි අවි ලබා ගෙන කටයුතු කරන ආකාරයත් එම නිලධාරින් විසින් නියාමණය කළ යුතුයි. ආයුධයක් ලබා දුන් පමණින් අහිංසක සතුන් මරා දමන්න කාටවත් අවසර දෙන්නේ නැහැ.
කෙසේ වුවත් මේ ක්‍රමය සාර්ථක විසඳුමක් යැයි මම සිතන්නේ නැහැ. ඇතැම් සතුන්ගේ ගහණය ඉහළයාමට හේතුව විලෝපිතයින් වඳ වී යාම. එමෙන්ම ඉවක් නැතිව කැළෑ එළි පෙහෙළි කිරීම. මිනිස්සු සතුන්ට ජීවත් වීමට තිබෙන ඉඩම් අල්ලා ගැනීම හා කැළෑ විනාශ කිරීම. ඒ නිසා සිදු විය යුත්තේ අදාල ආයතන වල නිලධාරින් විසින් නව තාක්ෂණික ක්‍රම අත්හදා බැලීම. එවිට සතුන් ගෙන් සිදුවන වගා හානි අවම කර ගත හැකියි. පරිසර ආමත්‍යවරයා වශයෙන් මම දකින්නේ මිනිසාත්, සතුනුත් මෙම පරිසරය තුළ ජීවත් කළ හැකි සමතුලිත වැඩ පිළීවෙළක් ක්‍රියාත්මක කිරීම මගින් පමණක්”