වකුගඩු රෝගීන්ගේ සංගමයට මම ජීවත්ව සිටින තාක් සෑම වසරකම ජනවාරි 03දා ලක්ෂ 100ක් දෙනවා
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් එම සංගමයට රුපියල් ලක්ෂ 100ක මුදලක් පරිත්‍යාග කළ බවත් ඉදිරියේ දී තමා ජීවත්ව සිටින තාක් කල් සෑම වසරකම ජනවාරි 03 වෙනි දින රුපියල් ලක්ෂ 100 බැගින් වකුගඩු සංගමයට පරිත්‍යාග කරන බවත් අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
ඩඩ්ලි සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ පසුගිය 03 වෙනිදා කොළඹ 07 මහවැලි කේන්ද්‍රයේ පැවති සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ රෝගී සත්කාර වැඩසටහනක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.
“බොහෝ අය මං ගැන හිතාගෙන ඉන්නෙ ලෝභ පුද්ගලයෙක් ලෙසයි. නමුත් මම කරන පිංකම් මගේ නෝනාවත් දන්නෙ නෑ. අපි කොච්චර හම්බ කළත් කවදාහරි මේවා දාලා යන්න වෙනවා.සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා ගැනත් සංගමයෙන් සිදු කරන සේවාව ගැනත් මා හට දැනගන්නට ලැබුනේ මගේ හිතමිත්‍ර සංගීත විශාරද ජානක වික්‍රමසිංහ මහතාගෙන්. ඔහු කළ ඇරයුමකට අනුව මම දෙසැම්බර් 20 වෙනිදා කොළඹ නව නගර සභා ශාලාවට ආවා.
එම උත්සවයේ දී වකුගඩු රෝගීන්ට කරන සේවය සියැසින් දුටුවා. ඒ අනුව මා හට මේ සංගමයෙන් සිදුකරන සේවාවන් පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුනා. එදා මම උත්සවයේ දී පොරොන්දු වුනා වකුගඩු සංගමයේ සමාජ සත්කාර වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක් ලබා දීමට. ඒ පොරොන්දුව අද මම ඉටු කළා.ඒ වගේම මම ජීවත්ව සිටින තාක් කල් සෑම වසරකම ජනවාරි 03 වෙනිදා වකුගඩු සංගමයේ සමාජ සත්කාර වෙනුවෙන් රුපියල් ලක්ෂ 100 බැගින් ලබා දෙනවා.
විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා කාගෙත් හොඳ හිත දිනාගෙන වකුගඩු රෝගීන් උදෙසා විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. රටේ විද්වතුන්, කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් එක් කරගෙන හොඳ ගමනක් යනවා. ඒවා සියැසින් දුටු නිසයි මම අද මෙම සංගමයට උදව් කරන්නෙ.
තවදුරටත් කතා කල ඒ මහතා රටක අධිකරණ, මුදල් හා විදේශ කටයුතු අමාත්‍යාංශ හැර අනෙකුත් අමාත්‍යාංශ පෞද්ගලිකරණය කළ යුතුයි. එතකොට තමයි රට දියුණු වෙන්නෙ." යයිද පැවසීය.
මෙම අවස්ථාවට ඩඩ්ලි සිරිසේන මහතාගේ බිරිඳ වන ඇන්ජලා සිරිසේන,නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති ජයන්ත ධර්මදාස, චානක බ්රාස් ආයතනයේ අධිපති ජයන්ති හෙට්ටිආරච්චි, වකුගඩු රෝගීන්ගේ සංගමයේ සභාපති ප්‍රින්ස් සමරසේකර යන මහත්ම මහත්මීන්ද, වෛද්‍යවරුන්, කලාකරුවන්, විද්වතුන්, ව්‍යාපාරිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ රෝගී පවුල්වල සාමාජික සාමාජිකාවන්ද සහභාගී විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
